බෝඩිම (උපුටාගැනීම් අංක 02)

>> Tuesday, March 16, 2010

උදේට නැගිටිනව.
රැවුල කපල දත් මදිනව
කන්තෝරුවට යනව.
පියන්ව කැන්ටිමට ඇරල ගෙන්නා ගෙන
දවල්ට කෑම කනව.
හවහට මේ ගුහාවටම ගාල් වෙනව
එතන ඉඳං ඇඳට වෙලා ඇහැ පියාන
හිත හිත ඔහෙ ඉන්නව.

ගීතසාර උරුවම්බානව ඇහෙනව.
මංගලිකා හිනා වෙනව.
හෙලේනා කහිනව
මංගලිකා හිනා වෙනව.
සොයිසා ගොරොවනවා
එක එක සද්ද බද්ද

දැන් කිසි සද්දක් නැත.
ඇහැ ඇරල බැලුවම
ලයිට් නිමල ඔක්කොම බුදි
මම විතරක් තනියෙං ඇහැ ඇරගෙන
අන්දකාරෙ.

දොළහෙ කෝච්චිය යනවා රේල් පාරෙ
ගිහිං ගිහිං ගිහිං ගිහිං
ඈත රටක නැතුව යනව.
සුරංගනා ලොවින් ඇවිත් සුරංගනාවියක්
ඇඳේ දිගා වෙලා හෙමින්
මගේ ඇඟේ වෙලෙයි
එතකොට මං දන්නේ
නින්දට ගිහිල්ල බව.

පහුවෙන් දා ආයෙත්
උදේට නැගිටිනව.
රැවුල කපල දත් මදිනව.
කන්තෝරුවට යනව
පියන්ව කැන්ටිමට ඇරල ගෙන්නාගෙන
දවල්ට කෑම කනව
ෆයිල් එනව
ෆයිල් යනව
හවහට මේ ගුහාවටම ගාල් වෙනව
කන්තෝරුවට යනව
හවහට මේ ගුහාවටම ආයි එනව.

කන්තෝරුවට යනව
හවහට ආයි එනව
කන්තෝරුවට යනව.

බෝඩිම-මහගම සේකර


0 අදහස්:

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP