නිශ්ශබ්දතාව කතා කරයි

>> Wednesday, March 17, 2010

ඔබගේ හදවතින් නැගෙන
නිහඬ සියුම් අඳෝනාව
අනන්ත වූ අවකාශය
නිශ්ශබ්ද ව අසා සිටියි

ඔබට ඉතා ළඟින් සිටින
ඔබෙන් බොහෝ ඈත වෙසෙන
මම ද
ඔබගෙ දුක් ගී හඬ
එපරිද්දෙන් අසා සිටිමි

දහවල දිව පැන දඟලන
කලබලකාරී ලෝකය
රාත්‍රියේ අඳුර පෙරව
සන්සුන් වී නිදියන කල
ඔබ නොනිදා
කවුළු දොරින්
අහස් ගැබට හෙලූ නෙතින්
මගේ හදේ දුක් ගී හඬ
ඔබේ හදින් අසන විට දි
මම නොනිදා
කවුළු දොරින්
අහස් ගැබට හෙලූ නෙතින්
ඔබේ හදේ දුක් ගී හඬ
මගේ හදින් අසා සිටිමි

අනන්ත වූ අවකාශය
සුළං දහර නිශ්චල කොට
ඔබෙත් මගෙත් දුක් ගී හඬ
නිසංසල ව අසා සිටියි

ඔබගේ ඇස් වලින් පෙරෙන
කාන්තියෙන් එළිය රැගෙන
පොඩි තරු කැට දිලී නිවී
කඳුළු හෙළා වැළපෙන හැටි
ඒ අවකාශය අතරින්
නිදි නැති මට එවිට පෙනෙයි

මගේ හදින් නැගෙන සුසුම්
අඳුර අතර පා වී ගෙන
කවුළු දොරින් රිංගා විත්
සෙමෙන් ඔබේ හිස පිරි මැද
නිදි නොමැතිව සිටින ඔබගෙ
මුහුණ සිඹිනු ඔබට දැනෙයි

අනන්ත වූ අවකාශය
සුළං දහර නිශ්චල කොට
ඔබෙත් මගෙත් දුක් ගී හඬ
නිසංසලව අසා සිටියි

ඔබෙත් මගෙත් දුක් ගී හඬ
අසා සිටින අවකාශය
පිටත ලොවට නෑසෙන්නට
නොපෙනෙන්නට මැරී සිටින
ඔබෙත් මගෙත් ආත්මයන්
නිසංසලව එක් කරවයි

0 අදහස්:

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP