දුකට කියන කවි සීපද.

>> Tuesday, March 16, 2010

පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා

ඉර පායා ඉර අවරට ගියාදෝ
හද පායාඅ හඳ අවරට ගියාදෝ
ඇඬූ කඳූළු මුහුදට එක් වුණාදෝ
ළමා ළපටි නෑනා කොයි ගියාදෝ

එගොඩත් බැලිමි එගොඩත් නුඹ නැතේයා
මෙගොඩත් බැලිමි මෙගොඩත් නුඹ නැතේයා
දෙගොඩම බැලිමි දෙගොඩම නුඹ නැතේයා
සිවුපද කියන මම තනියම පැලේයා

එගොඩ ගොඩේ උල ලේනා අඬන්නේ
මෙගොඩ ගොඩේ මම සීපද කියන්නේ
දෙගොඩ හරිය ගෙවිලා පිනි වැටෙන්නේ
දෙගොඩ ගොඩින් කොතැන ද නුඹ සිටින්නේ

සීත කරන උඳුවප් මහ දුරුත්තේ
සීතල උහුලන්ඩ මට බැරුවා සත්තේ
කැලේ මදුරු මැසි කරදර තොර නැත්තේ
පැලේ ගින්න විතරයි තනියට ඇත්තේ

උඹේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
උඹේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරවු එනවා පෙර පුරුද්දට

අනේ ගිරවුනේ මා බස අසාපන්
නඟා සිටින තැන කොතැන ද සොයාපන්
පැලේ තනිවම මා ඉඳිතෙයි කියාපන්
හිතේ දුකට නිදි නැතිවා කියාපන්

රෑ තිස්සේ පැල් රැක නිදි මරන්නේ
පාන්දරට යන්තම් ඇස පියෙන්නේ
හේනේ කඩුල්ලට එපිටින් සිටින්නේ
හීනෙන් ඇවිත් නෑනා අත වනන්නේ

උඹයි මායි අපි දෙන්නා එකතු වෙලා
කැලේ කපා වල් කොටලා ගිනි තියලා
වැවූ කුරක්කන් ගොබ දැන් කළු ගැහිලා
මෝරයි බංඩි මඳ සුළඟට නැමීලා 

රන් දෑකැති අරන් දෙන්නා දෙපස සිට
බට පොතු පෙට්ටි පුරවා එක පිට එකට
නෑනේ වරෙන් ඒ අස්වනු නෙළන්නට
කුරහන් පැහී මොකටද උඹ නැති දාට

ඔපනැලි යටින් පෙති ගෝමර ඉහෙන නඟේ
ඇඳි සේලේ රැලි සුළඟට නටන නඟේ
බුලත් හපා හප සුළඟට පිඹින නඟේ
කුරහන් කපන්නට හේනට වඩින් නඟේ




3 අදහස්:

රවා 1:54:00 PM  

ගැමි කවි වලින් ගත්තු සාරය තමුන්ගෙ හැකියාවත් එක්ක මුසු කරන හැටි... හරිම ආසා කවි ටිකක්..මෙ

Indranatha Thenuwara 11:11:00 AM  

මේ සමස්ත කවි පන්තියෙන්ම තෝරා ගත් කවි කිහිපයකින්, විශාරද අමරදේවයන් ගයන ගීතයෙන් කියැවෙන්නේ මේ දෙදෙනාගේ ම විශිශ්ටත්වයයි..
කවියක් ගීතයක් බවට පත් කරනා අයුරු කියන හොන්දම උදාහරනයකි මේ නිර්මානය..!

Sarathchandra 7:55:00 PM  

Marvelous lyric, the poem brings me to my prime youth, its a strange feeling which can not be described by words. His artistic briliance is incredible. I feel, we do not properly assesses his master pieces in deep. His untimely loss was irraparble loss to sinhala arts , specially to the music

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP