අම්මා

>> Tuesday, March 16, 2010

ඔබා දෙදණ නිල් උඳු පියලි බිම මත
වැන්දේය ඔහු බැති සිතින්
අම්මා වැළලූ තැන මහ පොළොවට;
පිපිලා තිබුණි එතැන සුදු පාටට
නමක් නොමැති පුංචි මලක්
සිම්බේය ඔහු එමල නමා හිස
'දස මසක් කුස තුළෙහි දරා සිට
මා ලොවට වැදූ අම්මා ඔබය'
කෙළවරක් නොමැති දුක් දරා විඳ
මා ලොවට හැදූ අම්මා ඔබය;

අඬන විට මා කුඩා අවදියෙහි බඩගිනි ව
තම්බා බතල දළු
ලුණු දියර ඉස
පොල් හා මුසුකොට කවා
බඩගිනි නිවූ අම්මා ඔබ ය.

උයා උදයෙන් නැගිට කඩයප්පන්
තබා තේ කඩයෙහි
ලබා ඉන් ලැබෙන සුළු වට්ටම
ජංගි ඇන්දූ අම්මා ඔබ ය.
ගල්වා ඉසෙහි තෙල් යහමින්
එල්ලා කරෙහි පංචායුදය
අල්ලා ගෙන අතින් මා
පාසලට එක්ක ගිය
අකුරු නූගත් අම්මා ඔබ ය.

ඇවිද ලඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන් හිරිය පන් කොළ
යොදා කුකුළු සායම් රතු හා කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට ම මට 
කියා දුන් අම්මා ඔබ ය.

නො දත්තෙමි මම එකල
අම්මේ, ඔබ වත කැඩපතක් බව;
මෙකල මා සිත පිළිබිඹු කරන
ගිලී යට ගිය ඇස් කුහර තුළ
නො දුටුවෙමි කිසි විටෙක සතුටක්
නො දුටුවෙමි කිසි විටෙක දුකකුත්,
ඉවසා සම සිතින් සැම සැප දුක්
ලැබුවා ද ඔබ සිතෙහි සාමයක්?
ඉපයුවෙමි මම මුදල්
ඉපයුවෙමි කිතු යසස්
වී ය මන්දිර යාන වාහන,
එහෙත් ඒ කිසිවකිනුත්
නො ලදිමි සිත් සැනසුමක්.
වටහා ගෙන සිටියා ද ඔබ ඒ සත්යුය
නො ලබා ම ඔබ ඒ කිසිවක්?

ප්රලබුද්ධ (1977) පද්ය සංග්ර හයෙනි.



0 අදහස්:

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP