1.

>> Saturday, August 13, 2011

ඔබ මට සිහිවෙයි
දහසක් ගිලනුන් මියගිය 
මේ ඇඳ මත
නිසලව වැතිරී මම
ඔබ ගැන සිත සිතා ඉඳිමි.

මෙය
මැදියම් රැය විය හැක.
කාලය ගලා නොයයි
විශ්වය නිශ්ශබ්දය.

එකී නිහඬතාවය මැද
ගන නිල් කළුවර තුල
යාන්තමින් සිතට ඇසෙයි
කඳු මුදුනින් බැසගෙන
මිටියාවත් දිගේ ගලන
ඔබේ මිහිරි ගී රාවය.
කවදාවත් නැති තරමට
අද ඔබ මට ආසන්නය.

නිදිබර සුසුම් පොදක්
රහසක් මා කණට කියයි
සියුමැලි ඇඟිලි තුඩක්
මා ඇසිපිය සෙමින් සිඹියි.

ඉවකින් මෙන් මට වැටහෙයි
ඔබ මා ළඟ සිටියි.
උණුසුම් සුළඟක් සේ
පර මල් සුවඳක් සේ.

දැන් මට තනියක් නැත.

නොගැයූ ගීයක තනුවක් වී
නොහෙළූ කඳුළක සිසිලක් වී
නොපැතූ පැතුමක කළලක් වී
නොපෙනී ඔබ මා සමඟ සිටී

සැහැල්ලුය සිත
බරක් නොමැතිය.

අනන්ත අපරිමාණ විශ්වය තුල
සෙමෙන් සෙමෙන් 
විසිරී යන
පුළුන් වලා රොදක් මම.
අනන්ත අපරිමාණ විශ්වය තුල
වෙන අන් කිසිවක් නැත.
ඔබත් මාත් දෙදෙනා හැර

ඌ……………………හ්!
අඳුර සිදුරු කර
පොළව සලිත කර
කීරි ගැහෙයි
යටිගිරියෙන්
ඔබලත් ප්රාණ දෙකක්.

පතිත වෙමි එක වරට
හිරි වැටුන යකඩ ඇඳ මතුපිටට
හීතලයි
දරදඬුයි
පාන්දර විසිහයේ වාට්ටුව.
බෙහෙත් ගඳ,
ම්…හ්…ම්…හ්…ම්…හ්…ම්…හ්

බඩ දඟලයි
උගුරට එයි
කට සෙවලයි
ඇඟ කකියයි.

සුදු මිසී නිදිකිරයි
මික්ස්චර් ගත්තද?
නින්ද හොරද?
තව පෙත්තක් දෙන්නද?

ලොකු සුදු පෙති
පොඩි සුදු පෙති
කහ රතු පෙති
කැප්සියුල්ස්
කෑමට පෙර 
කෑමට පසු
How are you mister?
වෙනසක් නෑ ඩොක්ටර්…

නොමියෙමි පිට 17-20


0 අදහස්:

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP