ප්රබුද්ධ උපුටනය 05

>> Thursday, November 24, 2011

ලගිත් සිඟන්නෝ ඉස්තෝප්පුවෙහි
වහල යට කොටුවේ ස්ටේසමෙහි
මූණ ලා බිත්තියට
පත්තර කඩදාසි මත

ගුලි ගැසී කඩමාලු වැරහැලි තුල
තබාගෙන තම අතම තම හිසට.

සිහින් අත්ගොබ තියුණු නෙත් යුග
රැළි වැටුනු දෙකොපුල් නළල් තල;
උස්ය ඉදු කය;
ළය රෝඹු සුදුවන්ය;
තැනින් තැන ඉරී ගිය
පෙරෙවි දළ කඩ දුඹුරුය.
පැසුණු රැළි රැළි ගැසුණු දැලි රැවුල
ඉස බැඳුණු කෙහෙමඩුලු
උපසාන්තය
මුහුණ සන්සුන්ය.

‘නිදුකාණෙනි! කියනු මැනව!
ඔබ කවුරු ද?
ඔබ බුදුබව ලද කෙනෙක්ද?
ඔබගේ වැනි තැන්පත් සුවපත් බව
කවදා කෙලෙසක මට ලැබිය හැකිද?’

සිඟන්නා සිනා සිණ,
මද සිනා සඳ රැසින් පෙරී එන.

‘කතා කරන්නෝ නො දනිති.
දන්නෝ කතා නොකරති.
එසේ වූ පසේ බුදු කෙනෙකි ඔබ,
සිතමි මම..

ප්රබුද්ධ පිට 75

ප්රබුද්ධ උපුටනය 04

සැණකෙළි බිමෙහි සිට
ආ දන අවන්හල වෙත
බොත් සුරා ඇති පදමට
මහත් අසහනයෙන් මිදීමට.

බනිති මැති ඇමතින්ට රජයට;
කියත් ගී ගසමින් මේසයට;
නිදත් නෙක සුබ සිහින දැක දැක
හඬත් උන් හිටි ගමන් ඇස හැර.

වැඩිවිය අවන්හලෙහි කරච්චලය;
වැඩි විය වර්ෂාවද;
දැන් කිසිවක් පැහැදිලි නැත.
ඔක්කොම එක රොත්තට
ඇත්තම කතා කරති;
කිසිවක් පැහිදිලි නැති ඒ නිසාය.

ප්රබුද්ධ
ස්ටේසම වෙත යනවිට
දෙගොඩහරිය පසුවෙලාය.

‘අනාගතයෙහි දිනක බුදු වන
මහා පුරුෂය !
අත දමා කුණු බාල්දියකට
අවුස්සා කරදාසි පොලිතින් හා කෙසෙල් කොල
කුමක්දෝ ඔබ සොයන සත්යය’

‘සොයන්නෙමි මම බත් උළක්
පාන් පෙත්තක්, මාළු කටුවක්
අනාගතයෙහි දිනක බුදු වන
මහා පුරිසානන් රකින්නට’

කොවුලෙකු අඬනු ඇසුයෙන්
ඒ දෙස බැළුවෙමි මම්;
කිමෙක්ද මා දුටුවේ?
අලුයම් අහසෙහි පරවුන සඳ පමණය’

ප්රබුද්ධ පිට 74.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP