Showing posts with label පුවත්පත් වාර්තා. Show all posts
Showing posts with label පුවත්පත් වාර්තා. Show all posts

සරල මනුස්සයෙක්

>> Thursday, April 15, 2010

(සිළුමිණ පුවත්පතින් උපුටා ගන්නා ලදී..)

ගමකට වඩා වටින්නේ මහගමසේකර වගේ ප්‍රතිභාසම්පන්න කලාකාරයෙක් ද, එසේත් නැත්නම් බෝක්කුවක්වත් හදාගන්න පුළුවන් හැකියාවක් ඇති ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයෙක් ද? මේ ප්‍රශ්නය මගේ සිතට නැඟුණේ ප්‍රවීණ සාහිත්‍යධර කේ. ජයතිලකයන් වරක් පුවත්පතකට කර තිබූ එක්තරා ප්‍රකාශයක් දැකීමෙන්. මහගමසේකර රටේ කොයිතරම් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණත් ගමට එක බෝක්කුවක් බැඳදීම තරම්වත් සේවයක් ඔහු කර දී නැති බව සේකරගේ අවමඟුල් උත්සවයේදී හමුවූ රදාවාන ගැමියකු තමාට පැවසූ බව ජයතිලකයන් කියා තිබෙනවා. සේකර ගේ අවසන් කටයුතු පැවැත්වුණේ ඔහු උපන් රදාවාන ගමේ තුංමංහන්දියෙදි. 

එහෙත් ඊට ගමෙන් සහභාගි වුණේ ටික දෙනයි. ඊට හේතු විමසීමකදි තමයි අර ගැමියා ජයතිලකයන්ට ඒ වගේ ප්‍රකාශයක් කරලා තිබෙන්නේ.

මහගමසේකර කවියකු, ගීත රචකයකු, චිත්‍ර ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු යනාදි වශයෙන් කලා ක්ෂේත්‍ර ගණනාවකම විශිෂ්ටයකු වුණාට ගමේ අයට එය ඒ තරම් මහ කජ්ජක් වෙලා නැති බවක් පෙනී යනවා. ගමේ අයට ඔහු නිකම්ම නිකම් ජෝන් සිංඤෝගේ පුතා පමණක් වුණා.

මහගමසේකර අධ්‍යක්ෂණය කළ ‘තුංමංහන්දිය’ චිත්‍රපටයේ ඇතැම් දර්ශන රූ ගැන්වුණේ ඔහු උපන් ගමේදීමයි. එහි එක් රූපගත කිරීමකදි ගමේ අය දැක්වූ ප්‍රතිචාරයක් ‘මහගමසේකර සහ සමාජ යථාර්ථය’ කියන පොතේ මෙසේ සටහන්ව තිබෙනවා.

”අර කවුද ඉන්නේ... ජෝ අබේවික්‍රම... එකෙක් කීය.
’අර ඉන්නේ ස්වර්ණා මල්ලවආරච්චි’ තවකෙකුගේ හඬ ඇසිණි.
’අර ඉන්නේ ජෝන් අයියගේ පුතා.’ එකෙක් සේකර දෙසට ඇඟිලි දිගුකොට කීය.
මහගමසේකර ගැන අනුස්මරණ සටහනක් ලියපු අපේ ‘කසුරි’ මහත්තයා (‘සිළුමිණ’ ප්‍රධාන කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතා) තම සටහන නිම කර තිබුණේ මේ ලෙසින්.

”ඔහු කවියෙක්; ගීත රචකයෙක්; නවකතාකරුවෙක්; චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්; අධ්‍යාපන නිලධාරියෙක්; චිත්‍ර ශිල්පියෙක්; පොත් කවර නිර්මාණ ශිල්පියෙක්; කථිකාචාර්යවරයෙක්. ඒ ඔක්කොම හරි. ඒත් මසිත කියන්නේ මහගමසේකර හඳුන්වන්න පුළුවන් හොඳම නිර්වචනය ඒ එකක්වත් නොව ‘සරල මනුස්සයෙක්’ යන්න බවය.”

සොයිලියස් මැන්දිස් හා නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ හැරුණම මම අහලා තියෙන විදියට අපේ රටේ හිටපු ඉතා නිර්ව්‍යාජම කලාකාරයා මහගමසේකර. ඔහු කීර්තියක් අත්පත් කරගත්තේ කුර්තා ඇඳුම්වලින්වත් පිනට ගත් සාම විනිසුරු පදවිවලින්වත් ඉන්දියාවේ වෛකල්පිත විද්‍යා ආයතනවලින් මිලට ගත් ආචාර්ය උපාධිවලින්වත් නෙමෙයි. ඔහු නිර්මාණය කළ අග්‍රගණ්‍ය කලා කෘතිවලින්මයි.

කලා මාධ්‍යයක පදනම විය යුත්තේ අව්‍යාජත්වය බව මහගමසේකරම වරක් ලිපියක් ලියමින් කියා තිබෙනවා.
සේකර ගමෙත් නගරයෙත් කොතැනත් ජීවත් වුණේ ඉතාම සරල, අල්පෙච්ඡ, නිර්ව්‍යාජ පුද්ගලයෙක් විදියටයි. රස්සාව ඉවර වෙලා ගෙදර ඇවිත් අමුඩෙ ගහගෙන ළිඳෙන් නාන්න පුළුවන්කම ඔහුට තිබුණා. ගමේ වෙල්එළියේ උඩුකය නිරුවතින් ඇවිදීමට පුළුවන්කම ඔහුට තිබුණා.

සේකර ගමේදි කා එක්කත් කතා කළේ ‘උඹ, බං, බොලං’ කියලයි. කොටින්ම ඔහුගේ අම්ම තාත්ත එක්කත් කතා කළේ ඒ අයුරින්. ‘තුංමංහන්දිය’ චිත්‍රපටයේ තිරනාටකය කියවු අවස්ථාවකදී ලද අත්දැකීමක් ගැන ප්‍රවීණ ලේඛක හේමරත්න ලියනආරච්චි මෙසේ කියා තිබෙනවා. එහිදි ඔවුන්ට පානය කිරීමට සිගරැට් ඕනැ වෙලා තියෙනවා. සේකර නිදා සිටින තම පියා අමතනවා.

”තාත්තේ තාත්තේ නැගිටපංකෝ.” පුතාගේ කටහඬ අපට ඇසේ.
”මොකද යකෝ මේ කරදරේ. නිදාගන්නවත් දෙන්න එපා.” ඒ පියාගේ් කටහඬය.
”අනේ තාත්තේ... අපේ සිගරැට් ඉවරයි. අපිට සිගරැට් ටිකක් ගෙනත් දීපංකෝ... අනේ”
”යකෝ මේ අනෝරා වැස්සේ.” පියා නැඟිට ඇඳෙහි හිඳ ගත්තා සේය.
”අනේ මං අර මගේ චිත්‍රපටි කතාව මේ යාළුවන්ට කියනවා. අපි ගියොත් මේ වැඩේ නවතිනවනේ. අනේ සිගරැට් ටිකක් ගෙනැත් දීපං. උඹට පින් සිද්ධවෙයි.”

සේකර කලාව කළේ අද හුඟාක් කලාකාරයන් වගේ සල්ලි බලාගෙන නෙමෙයි. ඔහුගේ චිත්‍ර ඉහළ මිලකට ගණනය වුණත් ඔහු ඒවා වික්කේ නැහැ. අද ලක්ෂ ගණනින් වටිනාකම් කිවහැකි චිත්‍ර ඔහු ඇතමුන්ට දීලා තියෙන්නේ සතයක්වත් අය නොකර.

සේකර ජීවත් වුණේ අවුරුදු 46 යි. ඔහු මේ ඔක්කොම කළේ ඒ ටික කාලය ඇතුළත. ඔහු අපේ රටට වටිනා කලා කෘති රැසක් දායාද කරමින් කලාව, සංස්කෘතිය පෝෂණය කළා. 

ඒත් මේ රටෙන් සේකරට ලැබුණේ මොනවද?

වරක් සේකර තමාගේ ‘බෝඩිම’ කවි පොතේ පිටපත් ටිකක් සංස්කෘතික දෙපාර්තමේන්තුවට විකුණගන්න ගියාම සල්ලි නැතැයි කියා ඔහු ආපසු හරවා එව්වා. ඔහු ගේ ගී තැටි වලට ඉරි ඇන්දා. (තමාගේ තැටිවලට ඉරි ඇඳීම තමාට දැනුණේ පපුවට පිහි පාරක් ඇන්නා වගෙයි කියලා සේකරම වරක් කියලා තියෙනවා) 1996 දි රුපියල් දෙකක වටිනාකමකින් යුත් මහගමසේකර සමරු මුද්දරයක් නිකුත් කළා. 

ඒත් එහි නම සඳහන් වෙලා තිබුණේ ‘ශාන්ත කුමාර මහගමසේකර’ කියලයි. (පස්සේ ඒ මුද්දර දස ලක්ෂයම අවලංගු කළා) මහගමසේකරගේ නමවත් හරිහැටි දන්නෙ නැති රාජ්‍ය නිලධාරින් ඉන්න මේ සිංහල අපගේ රටකයි සේකර ජීවත්වෙලා මිය ගියේ.

(මෙම වාර්තාව ලබාදුන් මිත් සොයුරාට ස්තුතියි..!)

Read more...

කවිය වෙනුවට කවියා කියවීම

>> Tuesday, March 16, 2010

Read more...

සම්ප්‍රදාය රුකුලක්‌ කරගත් කලාකරුවා

>> Monday, March 15, 2010

මහගමසේකර විසිවැනි සියවස පහළ වූ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකි. ඔහු 1929 දී ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ රදාවාන නම් පිටිසර ගම්මානයේ උපත ලැබුවේය. මේ ගම්මානයේ පැවති සුන්දර පරිසරය, සේකරගේ කලා නිර්මාණ පෝෂණය වීමෙහි ලා ඉවහල් විය. සේකරයන්ගේ කලා නිර්මාණ ඇරැඹෙන්නේ "තුංමං හන්දිය" නමැති නවකතා නිර්මාණයෙන් ය. ඔහු නිරන්තරයෙන්ම ගැමි ජනතාව ඇසුරු කළ නිසා, ඔවුන්ගේ ජීවන අත්දැකීම් තම නිර්මාණයන් සඳහා රසඥතාවෙන් යුතුව යොදා ගත්තේය.

මහගමසේකර කලා ක්‌ෂේත්‍රයේ අංශ කිහිපයක කුසලතා දැක්‌වූ දුර්ලභ ගණයේ කලාකරුවෙකි. ඔහු ප්‍රවීණ ලේඛකයෙකි. කවියෙකි, ගීත රචකයෙකි, චිත්‍ර ශිල්පියෙකි, අති දක්‌ෂ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකි, කෙටිකතා නිර්මාපකයෙකි, කුසලතා පිරි නවකතාකරුවෙකි. ඔහු අනුකාරකයකු නොවූ අතර නිර්මාපකයෙකු විය. ජනප්‍රියත්වය පසුපස නොගිය අතර ජනප්‍රියත්වය ඔහු පසුපස හඹා ආවේය. ඔහුට තම කලා නිර්මාණ සඳහා සම්ප්‍රදායය අකුලක්‌ නොවූ අතර රුකුලක්‌ විය. මහගමසේකර සතුව සුන්දර හදවතක්‌ තිබිණි. ඔහුගේ "තුංමං හන්දිය" නවකතා කෘතියෙන් එය සනාථ වෙයි. එහි නිරූපිත ලොකු මාමාගේ චරිතයෙන් වනිත වන්නේ මහගමසේකරයන්ගේ චරිත ස්‌වභාවයයි. සේකරයන් තුළ පැවති අව්‍යාජත්වය, අවංකත්වය, මානව දයාව හා ගැමි ස්‌වභාවය ලොකු මාමාගේ චරිතයෙන් නිරූපණය කෙරේ. සේකරයන්ගේ බොහෝ නිර්මාණයන්ගෙන් ගැමි සුවඳ වහනය වෙයි. ඔහු ගැමි පරිසරයේ තිබෙන සුන්දරත්වයට සුවිශේෂ ඇල්මක්‌ දැක්‌වීය. එහෙත් නාගරික පරිසරය අමතක නොකරයි. මහගමසේකරයන්, විමලරත්න කුමාරගම මෙන් මානව දයාවෙන් සපිරුණු මිනිසෙකි. එමෙන්ම චන්ද්‍රරත්න මානවසිංහයන් මෙන්ම ගීතවත් කවියෙකි.

මහගමසේකර යථාර්ථවාදී කවියකු විය. ඔහු කාව්‍ය සංග්‍රහ අටක්‌ රචනා කළේය. ව්‍යාංග්‍යා (1960), සක්‌වාලිහිණි (1962), හෙට ඉරක්‌ පායයි (1963), මක්‌ නිසාද යත් (1964), රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත (1967), බෝඩිම (1970), නොමියෙමි (1973) හා ප්‍රබුද්ධ (1977) වේ. මේ කාව්‍ය සංග්‍රහවලින් මහගමසේකරයන්ගේ කවීත්වය ක්‍රමයෙන් පරිණත වූ ආකාරය වනිත වේ. ඔහුගේ "ප්‍රබුද්ධ" කාව්‍ය සංග්‍රහයෙන් කවිය යනු රස නිෂ්පත්තියට පමණක්‌ සීමා වන්නක්‌ නොවන බව පිළිබිඹු වෙයි. පවතින සමාජ ක්‍රමය බිඳ දමා, යහපත් ආකාරයෙන් එම සමාජ ක්‍රමය ප්‍රති නිර්මාණය කිරීමේ කාර්ය භාරයද කවියා බාරගත යුතු බව එයින් වනිත වේ. මහගමසේකර කවියා මරණය සුන්දර දෙයක්‌ ලෙසින් දකියි. එහෙත් වෙනත් බොහෝ කවීන් මරණය දකින්නේ භයංකර දෙයක්‌ සේය. සේකර සැබෑ මරණය ලෙසින් දකින්නේ ජීවත් වීමයි. මිනිසා ජීවන අරගලයට මුහුණ දෙන අවස්‌ථාවේදී මතුවන ඇතැම් ගැටලු නිසා ජීවිතයේ සිය දහස්‌ වරක්‌ මැරි මැරී උපදියි. සේකර කවියා ගිලන් වී ඇඳේ සිටියදී මරණයේ සුන්දරත්වය අගය කරයි.

මන්ද ඔතන උඹ හැංගී කරන්නේ
අන්ධකාර සළු පොරවා වැනෙන්නේ
නින්ද නැතුව මම පැදුරේ දපන්නේ
නින්ද සදාකාලික කොට දියන්නේ

මහගමසේකර මරණය සුන්දර දෙයක්‌ ලෙස සැලකූ බව උක්‌ත පද්‍යයෙන් පැහැදිලිය.

සේකර නව කාව්‍ය සම්ප්‍රදායක්‌ ගොඩනැඟුවේය. එළිවැට කාව්‍ය ආකෘතිය, නිසඳැස්‌ කාව්‍ය ආකෘතිය හා ජන කවි ආකෘතිය යන අංශ තුනම උපයුක්‌ත කොටගෙන හේ පද්‍ය රචනා කළේය. කාව්‍ය භාෂාවට නොගැළපෙතැයි සැලකූ අසම්මත වචනද සේකර යොදා ගනියි. ඔහු සිය නිර්මාණ සඳහා යොදා ගන්නා වචන මෙන්ම, වචන යොදන විලාසයද අපූර්වය. විශේෂයෙන්ම ඔහුගේ පද්‍ය පන්තිවල රිද්මය මෙන්ම ගීතවත් භාවය රැකෙන්නේ වචන යොදන විලාසය අනුවයි.

"උඩින් උඩින් දෙපා - තබා මඩෙන් මිදී
සුරංගනාවියෝ - මුඩුක්‌කුවෙන් බසිත්"
"බිඳෙන් බිඳේ ජලේ පයිප්පයෙන් වැටේ
බෙලෙක්‌ක ටින් රැගත් -ළමෝ වටා සිටිත්"

සේකරයන්ගේ පද්‍ය පන්තීන් හි රිද්ම රටා ගැබ්වී තිබෙන ආකාරය මෙයින් පෙනේ. එය අදාළ අවස්‌ථාවට උචිතය. ඔහු මුඩුක්‌කු පරිසරය ද දුටුවේ මානව දයාවෙන් යුතුවය. එබඳු කර්කශ පරිසරයක ජීවත් වන කාන්තාවන් වුවද සුරංගනාවියන් ලෙසින් දැකීමට තරම් සේකර නිහතමානී වන්නේය.

ගීත ක්‌ෂේත්‍රයේ ද නිපුණතා දැක්‌වූ ඔහු දේශීය සංගීතයක්‌ ගොඩනැඟීමේ අරමුණෙන් තම කලා කුසලතාවන් ගීතයෙන් එළිදැක්‌වීය. "මළහිරු බසිනා සැන්දෑයාමේ", ඉරට මුවාවෙන් ඉඳගෙන", "පාළු අඳුරු නිල් අහස මමයි", "මා මළ පසු සොහොන් කොතේ" යන අදට ද එක සේ රසවත් ගීතවලින් සේකරයන්ගේ නිර්මාණ කෞශල්‍යය ගම්‍ය මාන කෙරේ.

මහගමසේකරයන් වර්තමානයේ පවා අපේ හදවත් තුළ නිදන්ගත ව ඇත්තේ, ඔහු පොදු ජනතාව අතර ජීවත් වූ නිසාය. මේ කවියා යුගයේ අවශ්‍යතාව හඳුනාගෙන සිsටි අතර කවිය සර්වකාලීන නිර්මාණයක්‌ විය යුතු බව පිළිගත්තේය. ඈත අහසේ දීප්තියෙන් බැබළෙන තාරකාවක ආලෝකය පොළොවට පතිත වන විට එම තාරකාව මියගොස්‌ බොහෝ කලක්‌ ගතවිය හැකිය. මහගමසේකරයන්ගේ වටිනාකම වඩ වඩාත් දැනෙනු ඇත්තේ, අදටත් වඩා හෙට දවසේ ය. විසිවැනි සියවසේ මෙරට බිහිවුණ විශිෂ්ටතම නිර්මාපකයකු සේ මහගමසේකරයන් හැඳින්විය හැකිය. ඔහු 1976 ජනවාරි 14 වැනි දින අප අතරින් සදහටම වෙන්විය. 

රෝහණ වංශතිලක
දිවයින - 2010.01.21

Read more...

මානව සෞන්දර්යවාදී ගීත රචකයා


මහගම සේකර

නොදත්තෙය තමා රුව

අවට මිනිසුන් අතර
යෝධයකු වී නැඟී සිටින බව

නොදත්තෙය තමා හඬ
සුවහසක්‌ රසික සිත් සතන් තුළ
නිධානව ප්‍රතිරාව නඟන බව

මලක්‌ දැක හිනැහෙන
මල යනු කිමැයි නොදැන ම
කුඩා දරුවකු මෙන් විය ඔහු

අඩසිය වසකට ද වඩා අඩු වූ සිය ජීවිතයෙන් නොකල්හි සමුගෙන යන විට මහගම සේකර කවියකු ගීත රචකයකු, චිත්‍ර ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු මෙන්ම සෞන්දර්යය අධ්‍යාපනඥයකු ලෙස ද ඒ ඒ ක්‍ෂේත්‍රයන් හි කීර්තියක්‌ අත්කර ගෙන සිටියේය. ඔහුගේ අවසන් කෘතිය වූ ප්‍රබුද්ධ කාව්‍යයෙන් උපුටා ගත් ඉහත කාව්‍ය ඛන්ඩය අනුව ප්‍රබුද්ධ මෙන්ම සේකර ද සිය දැවැන්ත නිර්මාණකාය පිළිබඳ සැබෑ වැටහීමක්‌ ඇතිව සිටියේ නැත. සේකරගේ නිර්මාණ සමූහය පුළුල් විද්වත් රසික පර්ෂද හමුවට වඩ වඩාත් පැමිණෙන්නට වූයේ ඔහුගේ අභාවයෙන් පසුවය. සිය ජීවිත කාලය තුළදී නොලද අවධානයක්‌ අභාවයෙන් පසුව තම නිර්මාණ වෙනුවෙන් ලැබු සේකර එහිලා කෙරුණු විමර්ශන පසු කාලීන නිර්මාණකරුවන් වෙත අත්වැලක්‌ කොට දුන්නේය. මෙහිලා විමසා බැලෙන්නේ ඔහුගේ රචනා කිහිපයක දැක ගත හැකි විශේෂතාවන් ය. ඔහු ලද ආභාසයන් මෙන්ම ඒවා ඉක්‌මවා යන්නට ඔහු තුළ වූ ශක්‌තිය ද එමගින් පැහැදිලි වෙයි.

තමා ගීත රචකයකු වීම සඳහා පළමු පෙළඹවීම ලැබුවේ බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවෙහි පැවැත්වුණු ශ්‍රී චද්‍රරත්න මානවසිංහයන්ගේ දේශනයකට සවන් දීමෙන් පසුව බව සේකර සිය ගීත සංග්‍රහයේ පෙරවදනෙහි සඳහන් කරයි. ඒ අනුව සේකරගේ නිර්මාණවල ආරම්භයේදී ඔහු ගෞරවයෙන් සැලකූ පුරෝගාමී කවියකු වන මානවසිංහයන්ගේ රචනාවල ආභාසය දැන ගත හැකි වීම අරුමයක්‌ නොවේ.

අහසේ නිල් පැහැය උරා
මේඝ වළා කඩින් පෙරා
යමුණා ගඟ ඉහළ කොණේ
මල් බර නිල් උපුල් වෙනේ
ඉඳුනිල් මිණි කැට අතරේ
බැස යන සීතල වතුරේ

සේකරගේ මුල් කාලයේ නිර්මාණයකින් උපුටා ගත් ඒ කාව්‍යය ඛණ්‌ඩය මානවසිංහයන්ගේ පහත දැක්‌වෙන කාව්‍ය ඛණ්‌ඩය සමඟ ඇති සමීප නෑකම රූපික ලක්‍ෂණවලට පමණක්‌ නොව කථන ක්‍රමයට ද අදාළ ය.

ඈත එපිට දිගු මඩලේ
මහ කඳු වැටියක අසලේ
නිහඬ පිටිය වනන්තරේ
මහ කළුවර ගස්‌ අතරේ

එමෙන්ම මානවසිංහයන්ගේ ප්‍රකට වෙසක්‌ බැති ගීයක්‌ සමඟ සේකර ලියූ අප්‍රකට වෙසක්‌ බැති ගීයක්‌ ද සස¹ බැලීම සුදුqසු ය.

සෑ මිදුලේ සමන් මලේ
වෙසක්‌ සඳේ කැලුම් මැවේ
සාධු සමාධි ගුණ ගීතයකි විහාරේ
(මානවසිංහ)

විහාර මළුවේ සඳ කැන් දහරේ
අරලිය වදුලේ මල් පොකුරේ
පුහුල් පහන්වල
ගොක්‌ කොළ තොරණේ
සුදු සඳ රැස්‌ - එකසේ පැතිරේ
(සේකර)

මහගමසේකර මුල් කාලයේදී ලියූ ඉහත කී කවි ඇතුළත් වී ඇත්තේ ඔහුගේ අභාවයෙන් පසු පළ වූ "නොපළ ගීත" කෘතියට ය. සේකර ඒවා මුද්‍රණයෙන් පළ නොකරන්නට ඇත්තේ මන්දැයි යන්න පිළිබඳව ද අපගේ සැලකිල්ලට යොමු විය යුතුය. කෙසේ වුවද ඉතා ඉක්‌මනින් තමාට පුරෝගාමී වූ නිර්මාණ අනුව ගිය මංපෙත වෙනස්‌ කළ සේකර, ස්‌වායත්ත ලකුණෙන් යුක්‌ත ස්‌වාධීන කවීත්වය අත්පත් කර ගත්තේය. මානවසිංහයන්ගේ නිර්මාණවල කැපී පෙනෙණ ලක්‍ෂණය වූයේ චමත්කාරයෙන්ම පිරුණු සෞන්දර්යාත්මක ගුණයයි. ඊට මානව සෞන්දර්යය එක්‌කළ සේකර, මානව ජීවිත ඇසුරින් කළ සෞන්දර්යාත්මක විවරණය සිය නිර්මාණවල විශේෂතාව බවට පත් කර ගත්තේය.

මුල් අවධියේ සිය නිර්මාණවල භාෂාධිපත්‍යය, ව්‍යක්‌තභාවය සහ වනි හා ව්‍යඤ්ජන ගුණ පිණිස මහගම සේකර වඩාත් සමීපව ඇසුරු කළේ මහාචාර්ය සරච්චJද්‍රයන්ගේ නිර්මාණ සාහිත්‍යයි. සේකරගේ ප්‍රථම ගී නිර්මාණ ඇතුළත් "ස්‌වර්ණතිලකා" නාට්‍යයේ රචනාවලින් මේ ආභාසය මැනවින් පෙනේ. "ස්‌වර්ණතිලකා" නාට්‍යයේ ස්‌වර්ණතිලකාව දැක්‌මෙන් සිත් කැළඹිල්ලට පත් වන උද්දාල බමුණාගේ සිත, සේකර ගීත ආකෘතියට ගොනු කරන්නේ මෙලෙසිනි.

අන්ද - මන්ද වීය චිත්ත මා
ඇගේ ස්‌වර්ණකාන්තියේන
අන්ද - මන්ද වීය චිත්ත මා
කින්නරාංගනා සමාන
රූපයේන කායයේන
කින්ද මේ වුණේ
නොදැනේ ය මිතුරනේ
(ස්‌වර්ණතිලක)

අන්ද මන්ද වූයේ මසිතා
මෙ පුවතින
කින්ද නොදැනේ මේ අරුමා

(මනමේ)

මනමේ නාට්‍යයට ඇතුළත් ව තිබූ "ප්‍රේමයෙන් මන රංජිත වේ" නම් සුප්‍රකට ප්‍රේම ගීතය සේකර සිය "ස්‌වර්ණතිsලකා" නාට්‍යයේ උද්දාල සහ ස්‌වර්ණතිලකා අතර කැරෙන ප්‍රේම සංවාදය සඳහා ආභාස කොට ගෙන තිබේ.

උද්දාල - එනු ස්‌වර්ණලතා - එනු ස්‌වර්ණලතා
මට ප්‍රේමයේ ආලෝකය පෑ
පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිsලා
සුගන්දේ ආනන්දේ ගෙන එන්නේ
මදන රඟ මණ්‌ඩප පේ කරලා

ස්‌වර්ණලතා - සඳ වේය උදා - සඳ වේය උදා
ලොව රිදියෙන් නාවාලා
චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී
නැළවෙන්නේ සැනසෙන්නේ වනගුල්මේ
යහන මත මංගල ගී කියලා

මනමේ නාට්‍යයේ පාත්‍රයන් මෙන් ම ස්‌වර්ණතිලකා නාට්‍යයේ උද්දාල හා ස්‌වර්ණතිලකා දෙදෙනා ද සිය අෙන්‍යාන්‍ය ප්‍රේමය ප්‍රකාශ කර ගත්තේ පරිසරය ආධාරයෙනි. පරිසර සුවනය මගින් සිය හැඟීම ඒ ඒ වස්‌තුන්ට ආරෝපණය කිරිම එකී නිරූපණ ක්‍රමයයි.

සිය නිර්මාණ පිළිබඳව වහා තෘප්තිමත්ව සෑහීමකට පත්වී එය පසෙක තැබීම සේකරට අභිමත නොවීය. 50 දශකයේ අග භාගයේදී ස්‌වර්ණතිලකා නාට්‍යයට ඔහු ලියූ ඉහත සංවාද ගීතය නැවත නැවතත් සකස්‌ කරමින් සිටී. ඔහු තමාගේ කුණ්‌ඩලකේශි නාට්‍යයට පරිසමාප්ත ගීතයක්‌ ලෙස එය ඇතුළත් කිරීමට සමත් විය. ඒ මෙලෙසිනි

අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු
සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා
චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
ආදර බස්‌ කියනා

අත් පසුරෙන් තුරු පෙම්බරයන් මන
බන්දා සෙනේ සිතිනි
ලියවැල් පැටලී ගොසිනී
පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා
මන්මද රංගන මණ්‌ඩපයේ මෙම
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා ස්‌වාමිනේ

ඒ ගීතයට ඇතුළත් "අත් පසුරෙන් තුරු පෙම්බරයන් මන බන්දා සෙනේ සිතින" යන සංකල්ප රූප "සොර පව්ව" නම් ඔහුගේ මුල් කාලයේ ලියූ නාටකයක දී හමුවන්නේ "රළු ගස්‌ කඳ වැළඳ බදා" යනුවෙනි.

මේ අයුරින් සංකල්ප රූපවල නිර්මාණාත්මක ලක්‍ෂණ ඉහළ නැංවීමත්, ආධිපත්‍ය තහවුරු කර ගැනීමත් පමණක්‌ නොව සුගේයනාව වැඩිදියුණු කිරීමට අදාළ ශබ්දාලංකාර වර්ධනය කර ගැනීමත් ඔහු අතින් සිදුවිය. "සොර පව්ව" නාටකයට ඔහු ලියූ එක්‌ ගී ඛණ්‌ඩයක්‌ මෙසේ විය.

ගල් පර්වතයේ හැපිලා
ජල ධාරා ඇද හැලිලා
ගනි නිවුණා ඇවිලී ළසෝගේ

සේකරගේ නිර්මාණ සාහිත්‍යයේ විශේෂ ලක්‍ෂණ සාකච්ඡා කරන විට අවධානය යොමු විය යුතු තවත් කරුණක්‌ නම් පාලි හා සංස්‌කෘත සාහිත්‍යයෙන් ඔහු ලබා ඇති ආභාසයයි. චJද්‍රරත්න මානවසිංහ කවියා සිය නිර්මාණයෙහි මාර්ග කෝෂය පොහොසත් කර ගැනීම සඳහා පමණක්‌ නොව නිර්මාණවලට අදාළ පුවත්, අත්දැකීම් හා උක්‌තීන් සඳහා ද සංස්‌කෘත සාහිත්‍ය සමීපව ඇසුරු කළේය. ඔහු පාළි සාහිත්‍යයට නැඹුරු වූ බව පෙනෙන්නේ "පාතුර හෝසි බුද්ධ ජයන්ති" යනුවෙන් ලියූ බුද්ධ ජයන්ති ගීතය ආදී රචනා කිහිපයකදී පමණි.

එහෙත් මහගමසේකර සංස්‌කෘත සාහිත්‍යයට වඩා බෙහෙවින් ඇසුරු කරන්නේ පාලි සාහිත්‍යයයි. ජාතික පාලි පමණක්‌ නොව ථේර ථේරි ගාථාව ද සේකර ගේ රචනාවන්ට බෙහෙවින් මූලාශ්‍ර වී තිබේ. සද්ධර්මාලංකාරයෙහි ස්‌වර්ණතිලකා වස්‌තුවට ඇතුළත් පහත දැක්‌වෙන පාළි ගාථාව සේකර පදානුපදිකව සිංහල ගීතයට නඟන්නේ අරුත් රස සුන් නොවන අයුරිනි.

ලලනානනානි - චලලෝචනානී
තරුණාරුණානී - චලිතාදරානී
මනුජෝහියෝ නෙත්ත පියං කරෝති
සතුනීව ජාති මපිනෝජ භාති

නීල නයන අරුණේ පැහැ රඳනා
පීන අදර දර රූබර ලලනා
හීන කුලේ වුව දුටු සිත ලොබිනා
නූන පෙමින් අත් නොහරිති නිතිනා

සුභා තෙරණිය ගේ ථේරි ගාථාව ඇසුරින් ඔහු ලියූ ගීය ථේරී ගීයෙහි ඇතුළත් අලංකාරෝක්‌ති වඩාත් දියුණු කිරීමක්‌ මෙන් ම ඔහුගේ ප්‍රතිභාව මගින් නව සම්පත් රැස්‌ කිරීමක්‌ ද වේ.

අපි දූරගතා සරම්හසේ

ආයත පම්හෙ විසුද්ධ දස්‌සනේ
නහිචත්ථිතයාපියතරේ 
නයනා කින්නරී මන්ද ලෝචනේ
(සුභාය ජීවකම්බත්ත නිකාය ථෙරී ගාථා-30,38)

කිඳුරඟනකගේ වැනි අඩවන් ඇස්‌ ඇත්තිය. දුරකට ගියේ වී නමුදු දික්‌ වූ ඇසිපිය ඇති පරිසුදු ඇස්‌ සිහිකරමි ඔබට වැඩි ප්‍රියතාරාවක්‌ මට නැත්තේය.

මේ අරුත් සේකර අතින් සිංහල ගීයට නැගෙන්නේ මෙලෙසිනි.

ඈත කඳුවැටි සේ නැමී ගිය
නීල දිගු ඇසි පියෙන් සෝබන
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දැසයි

මෙහි අරුත් සරසන ඈත කඳුවැටි සේ නැවී ගියේ නම් අලංකාරෝක්‌තිය සේකරගේම ප්‍රතිභාවෙහි සලකුණු ය.

සුළු කළිඟු කුමරියගේ රුසිරු වනන්නට ගුරුළු ගෝමීන්ට ද මූලාශ්‍ර වූවා සේ සැලකෙන මහා කවි කාලිදාස ප්‍රණීත කෘතියක්‌ සේ සැලකෙන "ශෘංගාර තිලක", කාව්‍යයේ එන පහත ප්‍රකට පද්‍යාර්ධය බැලුව මැනව.

ඉන්දිවරේන නයනං මුඛ මම්බුඡේන
කුංදේන දන්ත මදරන් නව පල්ලවේන

සේකර නිම වන නීල උත්පල දිගටි දැස හා ආලවඩන දන්ත කැකුළු කුන්ද සමන් ආදී සංකල්ප රූපාවලී ඒ සකු කව් ඇසුරු කරන්නේ නොවේද? රත්නදීප හා නිරිඳුනි මේ මහා සීගිරි කූඨය ආදී ගීත කිහිපයකදීම ඖචිත්‍යය නොනසා සකු තත්සම වදන් හි සේවය තම ගීතෝක්‌ති අලංකාරවත් කරන්නට සේකර යොදාගෙන තිබේ. ඒ මේ අයුරිනි

පර්වත ප්‍රාන්තයේ
සුරංගනාවන් රතැඟිලි පොකුරේ
නිල් මහනෙල් මල් කැකුළු පිපේ
සෝපානේ දර්පණයේ
කවියට මුසු වී - හැඩ රුව ඔප වී
උන්ගේ ඡායා මැවී පෙනේ

මානවසිංහයන්ගේ ඉරහඳ පායන ලෝකේ, ගමන නොනිමෙයි, ජීවන ගමනේ ආදී ගීතත්, මඩවල රත්නායකයන්ගේ තණ්‌හා ආශා වැනි ගීතත් බෞද්ධ දාර්ශනික සංකල්ප ඇසුරෙන් සියුම් වින්දනාර්ථ සපයන සෘජු සදුපදේශ නොවූ නිර්මාණයන්ය. සේකර ලියූ රටකින් රටකට පාර අසාගෙන අද තැනකයි - හෙට තැනකයි ආදී ගීත ද එබඳුම බෞද්ධ දාර්ශනික සංකල්පවලින් සැරසී තිබේ. එහෙත් ආදරයයි කරුණාවයි චිත්‍රපටයට ඔහු ලියූ ගීය එමගම ගියද නිර්මාණාත්මක ලකුණින් වඩාත් පොහොසත් විය.

දුක සැප දෙකටම උල්පත එක වේ
එකම ගඟක දිය වේ
සැපත විපත වේ විපත සැපත වේ
ඒකයි ලොව නියමේ

දාර්ශනික අර්ථ ගීයට නැගීමේ විරල අවස්‌ථා සේකර වඩාත් අර්ථවත් කොට ගෙන ඇත්තේ එහිදී විශ්ව සාහිත්‍යයේ ද ඇසුර ලැබීමෙනි. ඛලීල් ජිබ්රාන්, සරෝජනී නායිදු, රවීන්ද්‍රනාත් තාගෝර් සහ ඔමාර් ඛයියාම් වැනි විදෙස්‌ කවි කිවිඳියන්ගේ රචනාවන් හි දාර්ශනික අර්ථ ඔහු සිංහල ගීයට නැගුවේ, සරල ගීතෝක්‌ති නිර්මාණය ගැන අමතක නොකරය. සරෝජනී තායිදුගේ ,ෂබාස්‌බ උeaඩැරි, ඉන්දියානු වියත්තෝ නම් කවි පෙළ වඩාත් සංවෘත හා ඒකීය ධාරණාවක්‌ යටතේ සංවිධානය කරමින්, වනි පූර්ණ දේශජ සංකල්ප රූපාවලියකින් සරසමින් ඔහු ලියූ "සන්නාලියනේ" ගීතයේ රුව - ගුණ බෙහෙවින් ප්‍රකට ය. ඛයියාම් ගේ රූබයියාට්‌ හි 11 වැනි පද්‍යය සේකර විසින් නිදහස්‌ කවියට නගනු ලැබ ඇත්තේ මෙලෙසිනි.

තුරු වදුලේ 
රුක්‌ සෙවණේ පූපයක්‌ අතින් ගෙන
සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ ඔබ ගී ගයනා විට 
මේ වන රොද පාරාදීසයකි මට 

ගීයේ සහ කවියේ සීමා මායිම් මෙන් ම සුවිශේෂතා ද මැනවින් දැන සිටි සේකර, ශබ්දාලංකාර සහ භාෂාව තන්වැසි නුවණින් භාවිතයට ගත් අන්දම පිළිබඳ කදිම නිදසුනකි ඉහත කවියම ගීයට නැගූ අවස්‌ථාව.

සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ නිල් සෙවණැල්ලේ
ඔබ මා තුරුළේ ගී ගයනා වේලේ
මේ වන රොද මට ස්‌වර්ග රාජ්‍යයයි
සුරංගනා වියනේ

රත්න ශ්‍රී විඡේසිංහ


දිවයින -2010.01.14

Read more...

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP