Showing posts with label ළමා ගී. Show all posts
Showing posts with label ළමා ගී. Show all posts

බිංදු බිංදු වැහි..

>> Sunday, September 4, 2011

බිංදු බිංදු වැහි මිදුලට වැටෙනා
බිංදු බිංදු මල් තැන තැන පිපෙනා
සීත සුළං ගෙට හිරිකඩ ගෙනෙනා
සීතලේම ඇඟ හිරිගඬු පිපෙනා

වහලෙන් වැහි එක දිගට වැටෙනවා
පුංචි ගඟත් එක දිගට ගලනවා
එපයි කියා මට කිව්වත් අම්මා
තෙමෙන්නමයි හිත මිදුලට පැනලා…


Read more...

තට්ටු දෙකේ බස්

තට්ටු දෙකේ බස් එනකන්
ඉස්කෝලේ යන ලමයින්
රංචු ගැහී පාර දිගට 
බලා ඉන්නවා
උඩ තට්ටුවටම නැඟලා
ඉස්සරහින් වාඩි වෙලා
සන්තෝසෙන් හිනා වෙවී
ඉස්කෝලේ යනවා…

තවකල් යනකොට අම්මේ
මේ වගෙ
තට්ටු දහය පහලොව ඇති
බස් ඒවිද අපිට යන්න?

එතකොට අපි
ඒ බස් වල
ඉහලම තට්ටුවට ගිහින්
හඳ හාවා අල්ලන්නට
ආකාසෙට යනවා…


Read more...

සිරි ලංකා

අහස අපේ
මුහුද අපේ
පොළව අපේ
සිරි ලංකා

වැසි සැදි අහසයි
මුතු සැදි මුහුදයි
මිණි බැඳි පොළවයි
සිරි ලංකා

අප ඇස සනසයි
අප හද පුබුදයි
අපටම බාරයි
සිරි ලංකා

පුංචි කුරුල්ලෝ
පුංචි කුරුල්ලෝ
පියා සලා උඩ අහසේ
ඉගිලෙන විට කුරුල්ලෝ
දැකපු හොඳම ලස්සන රට
කොහෙද කියන් කුරුල්ලෝ

වැල්ල දිගට රැල්ල නැඟෙයි
මුහුද නිලයි හෝ හෝ
සිළි සිලී ගා සුළඟ හමයි
ගොයම නටයි හෝ හෝ
ඇල දොළ ගං හෝ හෝ
ඒ රට සිරි ලංකාවයි
අපේ රටයි හෝ හෝ……



Read more...

ඔරු

ඉවර වෙච්චි කොපි පොතකින්
එක කොලයක් ඉරාලා
දෙකට තුනට නවාලා
වැහි වතුරට
අගුව දිගට
ගලන ගඟට දමනවා….

ඔරුව ගඟේ පාවෙලා
ටිකක් දුරට ගිහිල්ලා
වැහි වතුරට යට වෙලා
අන්තිමේදි ගිලෙනවා

ගිලෙන ගිලෙන ඔරු ගනනට
තව තව ඔරු හදනවා
හදන හදන ඔරු එක එක
ගලන ගඟට දමනවා
දමන දමන ඔරු එක එක
අගුව දිගේ පාවෙලා
ටිකක් දුරට ගිහිල්ලා
වැහි වතුරට යට වෙලා
අන්තිමේදි ගිලෙනවා..


Read more...

සරු පොළවක් අපට ඇතේ

රට සරු කොට පෙරට ගන්න
ඉන්නෙත් අපිමයි
රට වෙනුවෙන් පෙරට යන්න
ඉන්නෙත් අපිමයි

සරු පොළවක් සමඟ අපිට
සවිබල දෑතක් ඇතේ
මේ රට දෙව් ලොවක් කරන
අරමුණකුත් ඇත සිතේ

හෙට වන විට මේ දූපත
සව්සිරියෙන් ඉතිරෙනවා
ඒ සිරි සැප ගෙන එන්නට
අපේ දෑත වෙහෙසෙනවා
අද මෙහි සිටිනා පැරකුම්
රජවරු අපිමයි
රාහුල කිවිවරු මහසෙන්
දෙවිවරු අපිමයි

මේ අපගේ මව් රටයි
මේ අපගේ පිය රටයි

අප හැම උපදින රටයි
අප හැම මිය යන රටයි

සම් මස් ලේ නහර අපේ
මේ රටටම අයිතියි
මේ රට වෙනුවෙන් ජීවිත
පුදන්න අපි කැමතියි.


Read more...

කඩදාසි ඔරු

වැස්ස වෙලාවෙන් අහසේ
වතුර බිංදු වැටෙනවා
පුංචි ගඟක් එතන හැදී
අගුව දිගට ගලනවා…

අක්කාගේ කොපි පොතකින්
එක කොලයක් ඉරාලා
දෙකට තුනට නමාලා
පොඩි ඔරුවක් හදාලා..

ඔරුව ගඟට දමනවා
අතින් තල්ලු කරනවා
මෙන්න
ඔරුව හෙමින් හෙමින්
ගඟ පහලට ඇදෙනවා….



Read more...

නංගිගෙ දත වැටුනා

අම්මෙ
අම්මෙ
මේ බලන්න
නංගිගෙ දත වැටුනා
නාකිච්චී නාකිච්චී
නංගිගෙ දත වැටුනා

සමන්පිච්ච පඳුර උඩින්
වහලෙට ගිය ලේනා
ටිං ටිං ගා හිනා වෙමින්
නංගිට අඬ ගානා..

උඹ වගේම නංගිට දැන්
හිනා වෙන්න බැරියෝ
ලේනෝ මේ දත අරගෙන
කැකුළු දතක් දියෝ…



Read more...

මැසිමක් හැදුවා

මැසිමක් හැදුවා
මැසිමක් හැදුවා
පොල් බැට්ටෙන් මං
මැසිමක් හැදුවා

ටක ටක තාලෙට
තිත් තිත් වැටිලා
කොලයෙන් කොලයට 
මැහිලා යනවා

නංගිගෙ ගවුමයි
මල්ලිගෙ කමිසෙයි
අම්මගෙ හැට්ටෙයි
සීයගෙ සරමයි
සේරම මේකෙන්
මහලා දෙනවා…



Read more...

පාට පාට සරුංගල්

පාට පාට සරුංගල්
වෙල පුරාම සරුංගල්
කූරි කොටන සරුංගල්
ඈතට යන සරුංගල්

ලොකු අයියා හදපු නයා
කැරකි කැරකි ඉහල ගියා
ඔක්කෝටම ඉහල ගියා
පුංචි වෙවී නොපෙනි ගියා

අපි දිනුවා
අපි දිනුවා..


Read more...

වැස්ස.

>> Thursday, August 11, 2011

ආච්චියේ මේ බලන්න
දේදුන්නක් පායලා
රතු පාටට
නිල් පාටට
අහස දිගට පායලා….

දෙයියෝ දේදුන්න අරන්
වලාකුළට විදිනවා
එතකොට ඒ වළාකුලෙන්
වැස්ස කඩා හැලෙනවා…

පුංචි පුංචි වතුර බිංදු
මිදුල පුරා පිපෙනවා
අම්මේ මේ චූටි මල්ලි
මිදුලේ වැහි නානවා…..


Read more...

කලාමැදිරි.

ගහ පුරාම තාරකා
පුංචි පුංචි තාරකා
පණ ඇවිදින් තාරකා
ඉගිලෙනවා තාරකා…

නිල් අහසේ තාරකා
මල් පිපෙනා තාරකා
මා වටකර තාරකා
කලාමැදිරි තාරකා….


Read more...

පුංචි මාත්.

පුංචි උදැල්ලෙන් මිදුලේ
පොළව කොටනවා
පුංචි අතින් පුංචි පුංචි 
පැළ සිටවනවා…..

පුංචි පැලේ මල් පිපිලා
කරල් හැදෙනවා
පුංචි මාත් ලොකු මිනිහෙක්
කියා සිතෙනවා…


Read more...

අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා..

අඟුරු කකා වතුර බිබී
කොළඹ දුවන යකඩ යකා..

අත් දාහයි
පා දාහයි
දිගම දිගයි
එකම ඇහයි.

අඟුරු කකා වතුර බිබී
කොළඹ දුවන යකඩ යකා..

හූ කිය කිය
දුම් දම දම
සෙනඟ අරන්
කොළඹ ගිහින්
සෙනඟ අරන් එනවා…



Read more...

පුංචි පුංචි තාරකා…

>> Friday, August 5, 2011

පුංචි පුංචි තාරකා
ගහ පුරාම තාරකා
පණ ඇවිදින් තාරකා
ඉගිලෙනවා තාරකා…

අහස පුරා තාරකා
දිළී නිවී තාරකා
ඊට උඩින් තාරකා

හඳ වටකර චන්ද්රිකා
අද යනවා චාරිකා
කඳු වැටි ගංගා මුහුදු දිගේ
කාන්තාර වන ගහන දිගේ..



Read more...

මම ආසයි..

වැස්ස වගේ ආකාසෙන් 
වහින්න මම ආසයි
වතුර වගේ වැව් විල් වල
පිරෙන්න මම ආසයි..

ළියදි දිගේ එහෙන් මෙහෙන්
ගලන්න මම ආසයි
ලපටි ගොයම් දළුත් එක්ක
නටන්න මම ආසයි..

Read more...

පෙත්තප්පු.

>> Thursday, August 4, 2011

උඩින් උඩින් එන පෙත්තප්පු
බිමින් බිමින් එන පෙත්තප්පු
ඇඟ කොළ පාටයි - හොට රතු පාටයි
සින්දු කියන පොඩි පෙත්තප්පු…

කජු ගහ මුදුනේ කොල අස්සෙන්
සර සර ගාලා පියාඹමින්
පිහාටුවක් මට දීලා යනවද
තරහ නැතුව පොඩි පෙත්තප්පු..


Read more...

අහිකුණ්ටිකයෝ..

>> Monday, August 1, 2011

අම්මේ මම ඉස්කෝලෙට
යනකොට අද දැක්කා
අහිකුණ්ටිකයන් තවලම
බදුවත්තට ආවා…

ගෑණු රබන් ගහනවා
පිරිමි නලා පිඹිනවා
නයා පෙණේ ඇළ කර කර
නළා හඬට නටනවා….

බලු කුක්කෝ පේලියයි
බූරු පැටව් පේලියයි
බදු වත්තේ සෑම තැනම
කූඩාරම් පේලියයි…



Read more...

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP