මී දුම් බර හිමිදිරියක

>> Tuesday, June 8, 2010

මී දුම් බර හිමිදිරියක
සිරි පා කඳු මුදුනත
ඉර සේවය කරනා විට
දුටුවෙමි ඒ අසිරිය:
ඉමක් කොනක් නැති විශ්වය
හාත්පසින් කඳු වළලුය
අහස අගෙහි සරහා මහ
රන් පැහැ නන් ධජ පතාක ඇදී තිබිණ:
මිටියාවත මීදුම් තුල
බැතිමත් හදවත් තුල
සංගීතය පිරී තිබිණ.
ඉක්බිති ඒ ආලෝකය
සිතිජෙන් සෙමින් සෙමින් උදා විය;
ඉක්බිති එක පැහැරව
සුවහස් මුවින් නැඟුණු සාදුකාර රැව් පිළි දී
අනන්ත අවකාශය මිහිරි විය.
හදවත එලිය විය;
නිහඬ විය.

උදය විය.

ඒ එක දවසක් ය.

ප්රබුද්ධ, පිට 47


Read more...

මානෙල් මල්..

>> Saturday, May 22, 2010

අහසේ නිල් පැහැය උරා
මේඝ වලා කඩින් පෙරා

යමුනා ගඟ ඉහල කොනේ
මල් බර නිල් උපුල් වනේ

ඉඳුනිල් මිණි කැට අතරේ
බැස - එන සීතල වතුරේ

සිහිලස හා සමඟ අනා
කටරොළු මල් තෙල්ල තනා

එයින් ඔබේ දෑසට සරි
පැහැය තැනූ වැනියි කුමරි!

ඔබගේ -නෙත් කෙවෙනි දිගේ
පා-වෙන රස කලා ගඟේ

ගිලී, නොයා හැකිව වෙනත
අතර මංව ඇත මගෙ නෙත

පෙම උතුරා දිව ගොළු කොට
මුවින් වදන් නොඑන කලට

හංස ගීතය සහ වෙනත් නිර්මාණ පිට 149


Read more...

මගේ රට.

කරලින් බරවී කෙත් වත් වී දේ
දෙරණින් එකසේ නවමිණි පෑදේ
මුතු බෙල්ලන්ගෙන් සමුදුර සෑ දේ
ලංකා මුතුවෙකි, මැද ගොළු මූදේ

සමනළ-හිරිගල කුළු පිදුරුතලා
අහසට නැඟ යෙයි ඔබ ගුණ ගොස-ලා
මහවැලි-වලවේ ගං දෙගොඩතලා
පස සරු කර යෙයි තඹ වතුරු ගලා

නිල් පෑ නොහරින තුරුලිය ගොල්ලේ
දුන්හිද දියලුම ඇලි දිය ඇල්ලේ
සමුදුර පරයන මහ වැව් රැල්ලේ
සිරි දැක හද තුල බැතිපෙම දැල්ලේ

වෙරල් දිගේ පල බර නෙරළු තුරුයි
කදුරට මිහිදුම් බැඳි තේ පඳුරුයි
සුලගේ නැලවෙන රන්වන් කුඹුරුයි
මගෙරට හැමටම වැඩියෙන් සොඳුරුයි

සීගිරිය දඹුල්ල පොලොන්නරුයේ
අනුරා පුරයේ ගඩලාදෙණියේ
බිතුසිතුවම් ගල් කැටයම් හමු යේ
මැවෙනා රස, තව කොහි වෙයිද, දියේ?

හග්ගල පේරාදෙණියේ උයනේ
මල් රොන් පිස එන ඇල් මද පවනේ
ළය සැනහෙන නිරතුරු මතු නිවනේ
වැඳ ලබනා සැප කුමටද? මවුනේ?


හංස ගීතය සහ වෙනත් නිර්මාණ පිට 134

Read more...

මන්ද්ර තිත..

>> Monday, May 10, 2010

වීණාවේ තත සියුම් වෙවී
නිසොල්මනේ හිඳ සුසුම් හෙලයි

එයින් නැඟෙන සියුම් ස්වරය
දුරින් දුරට පාවී
කෙමෙන් ගෙවී
පිට සක්වළ පොඩි තරු කැට
පිණි කඳුලින් හඬා වැටෙන
අනන්ත වූ ආකාසේ
වලා අතර නෑසී යයි

තැලෙන තරමට
වඩා තියුණුව
වඩා මිහිරිව
හඬන වෙණ තත
ඇයිද ඔබේ රළු ඇඟිලි තුඩින්
පාරා තව තව රිදවන්නේ
අන්තිම ගීයේ අවසානේ
කම්පනයෙනි එය වෙවුලන්නේ

එහෙත් එය වැළපෙනු ඇසීමෙන්
ඔබට යම් සතුටක් ලැබේ නම්
වීණා තත් සිඳෙන තුරුම
තොරක් නැතිව පහර දෙන්න
වඩා මිහිරි හඬක් එයින්
ලබනු පිණිස සිඳෙන තුරුම..

සක්වාලිහිණි පිට 62


Read more...

31

>> Friday, May 7, 2010

මා දුකින් පෙලෙන විටදී
ශනි කුජ බුධ ගුරු ග්රහයෝ
අපල උපද්රව ගෙන එති
විෂ්ණු කතරගම දෙවියෝ
අපල නසා සෙත සලසති

මා එදුකින් මිදුනු විටදී
සනි කුජ බුද
අහසේ තරු
විස්නු කතරගම
සිතින් මැවූ අය

හෙට ඉරක් පායයි පිට 31

Read more...

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP