16

>> Saturday, August 13, 2011

නො ලියූ කවියක් මෙන්
සිත තුල
ඔබ නලියයි.

හෙට ඉරක් පායයි, පිට 16


Read more...

59

සුදු තිර ඇද වටකල කාමරය මැද
සුදු ඇතිරිලි එළූ සීතල යකඩ ඇඳ
සුදු රෙද්දෙන් වැසූ
සුදු සියුමැළි සිරුර

වෙවුලන ඇඟිලි අගින් ගෙන
රෙදි කඩ සෙමින් ඉවත් කර
බැලූයෙමි
ඇගෙ
නිසල 
සුදු මුහුණ

නෑසෙයි හුස්ම හෙලන හඬ
අවට කිසිවෙකු කෙරෙන්
සිනාසෙයි මඳ සිනා
අඩක් විවරව දෙතොල
සුරඟනන් හා සමඟ සිහිනයෙන්

මම
නිහඬවම
අවට සිටියවුන්
මුහුණු
බලා
රෙදිකඩ
සෙමෙන් ගෙන
මුහුණ
යළි වැසුයෙමි.


හෙට ඉරක් පායයි, පිට 67


Read more...

අවුකන පිලිමය

ඇසේ මතුවන කඳුළු බිදු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලවෙන් කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්

නොඅදහා බුදු කෙනෙකු දෙවියෙකු
මානයෙන් වල්මත්ව සිටි මම
ගලක් යැයි ඔබ සිතා සිටියෙමි
තෙතක් හෝ කිසි දයාවක් නැති
ගලින් කල ඔබ හදින් වෑහෙන
මහා කරුණා ගුණය නො පෙනිණි.

අහිංසක හදවත්හි උපදින
මෙලෙක් සංකල්පනා සිතුවිලි
ගලින් කළ ඔබහටම මිස ලොව
ගලින් කළ අයට නෑඟෙයි

කෙලෙස් මළ පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආයෙමි පොළෝ තලයේ
අනෙක් පිහිටක් නොමැති වූ විට

ඉහළ නිල්වන් අහස විනිවිද
නැඟෙන ඔබගේ යෝද බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක් කොට ඇත

ඔබේ පාමුල බැගෑපත් ලෙස
වැටී අයදිමි අනේ සාමිනි
ජීවිතේ යම් පලක් ඇත්නම්
කිමැයි ඒ මට කියා දුන මැන.


සක්වාලිහිණි, පිට 53-54


Read more...

රෝස නටුවේ කටු

විළිබරව අතු අතර
වැදී සැඟවී සිටින
නැවුම් සුදු මල් කැකුළ
විණි මුතුව මල්වරව
විදා මුතු දසන් පෙති
සිනාසෙයි ලෝකයට

දිනක් දෙදිනක් මෙලෙස
අවට ලොව එළිය කොට
සිනිඳු පෙතිවල මෙළෙක
පිණි පොදට සේදෙමින්
ඉන් නැඟුණු සුදු සුවඳ
සුළඟ හා එක්වෙමින්
පිපුණු මල සදහටම
මැරී පරවී වැටෙයි

ඉන් පසුව ඒ අවට
පාළු හිස් ලෝකයට
ඉතිරි වනුයේ කිමද
නටුව අග කටු පමණි.

සක්වාළිහිණි, පිට 69


Read more...

1.

ඔබ මට සිහිවෙයි
දහසක් ගිලනුන් මියගිය 
මේ ඇඳ මත
නිසලව වැතිරී මම
ඔබ ගැන සිත සිතා ඉඳිමි.

මෙය
මැදියම් රැය විය හැක.
කාලය ගලා නොයයි
විශ්වය නිශ්ශබ්දය.

එකී නිහඬතාවය මැද
ගන නිල් කළුවර තුල
යාන්තමින් සිතට ඇසෙයි
කඳු මුදුනින් බැසගෙන
මිටියාවත් දිගේ ගලන
ඔබේ මිහිරි ගී රාවය.
කවදාවත් නැති තරමට
අද ඔබ මට ආසන්නය.

නිදිබර සුසුම් පොදක්
රහසක් මා කණට කියයි
සියුමැලි ඇඟිලි තුඩක්
මා ඇසිපිය සෙමින් සිඹියි.

ඉවකින් මෙන් මට වැටහෙයි
ඔබ මා ළඟ සිටියි.
උණුසුම් සුළඟක් සේ
පර මල් සුවඳක් සේ.

දැන් මට තනියක් නැත.

නොගැයූ ගීයක තනුවක් වී
නොහෙළූ කඳුළක සිසිලක් වී
නොපැතූ පැතුමක කළලක් වී
නොපෙනී ඔබ මා සමඟ සිටී

සැහැල්ලුය සිත
බරක් නොමැතිය.

අනන්ත අපරිමාණ විශ්වය තුල
සෙමෙන් සෙමෙන් 
විසිරී යන
පුළුන් වලා රොදක් මම.
අනන්ත අපරිමාණ විශ්වය තුල
වෙන අන් කිසිවක් නැත.
ඔබත් මාත් දෙදෙනා හැර

ඌ……………………හ්!
අඳුර සිදුරු කර
පොළව සලිත කර
කීරි ගැහෙයි
යටිගිරියෙන්
ඔබලත් ප්රාණ දෙකක්.

පතිත වෙමි එක වරට
හිරි වැටුන යකඩ ඇඳ මතුපිටට
හීතලයි
දරදඬුයි
පාන්දර විසිහයේ වාට්ටුව.
බෙහෙත් ගඳ,
ම්…හ්…ම්…හ්…ම්…හ්…ම්…හ්

බඩ දඟලයි
උගුරට එයි
කට සෙවලයි
ඇඟ කකියයි.

සුදු මිසී නිදිකිරයි
මික්ස්චර් ගත්තද?
නින්ද හොරද?
තව පෙත්තක් දෙන්නද?

ලොකු සුදු පෙති
පොඩි සුදු පෙති
කහ රතු පෙති
කැප්සියුල්ස්
කෑමට පෙර 
කෑමට පසු
How are you mister?
වෙනසක් නෑ ඩොක්ටර්…

නොමියෙමි පිට 17-20


Read more...

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP