නොමියෙමි… 15 වන පරිච්චේදය
>> Saturday, March 20, 2010
දවසක් දා
කැටපත ඉදිරියට ගොසින්
ඇඳි සලු පිලි උනා දමා
හෙලුවැල්ලෙන් බලා උනිමි.
ඈත අතීතේ දිනකදි
අන්ධකාර ගුහාවකදි
වැද්දකු තව වැද්දකුහට
මුණ ගැසුණා මෙන් විය.
මම
මගේම පිලිබිඹුවට
නිකමට විරිත්තුවෙමි.
එවිට ඔව්හු දුනුහී ගෙන
සටනට සැරසුණාහ.
සිනාසුණෙමි.
දුනු ඊ ඉවත දමා
එවිට ඔව්හු මිතුරු වූහ.
බැටලු රන්චු දක්කාගෙන
තණ බිමකින් තණ බිමකට
ඇවිද ගියෙමි
බිම සී සා දිය බැඳ
වී වපුරා
ශිෂ්ටාචාරය ඉන් නෙලා ගතිමි.
යාග හෝම බිලි පූජා
වේද මන්ත්‍ර ගී කීවෙමි
ගයා ශීර්ෂයේදි
බෝ මැඩ විප්ලවය දුටිමි
මංගල දේශනාව
කන්ද උඩදි අසා උනිමි.
බැබිලෝනය
ග්රීසිය
චීන මහා ප්රාකාරය
හිරු නොබසින අධිරාජ්යය
ගොඩ නැඟුවෙමි.
සක්වල තුල විදුලි වෙයින් ඉගිල ගොසින්
මහ පොලවට
සඳ කතරින් වැලි ගෙනාමි.
එනමුත් මට වැටහෙයි:
මම තවමත් ළදරුවෙක්මි
ලොව ගැන කිසිවක් නොදන්න.
ලොව ගැන තිබියේවා.
මා ගැනවත් මම නොදනිමි.
මම?
මම කවුරුන්ද?
මම නොදනිමි.
කැටපත මත පිලිබිඹුවෙන්
මම කවුරුද?
මම ඇසුවෙමි.
පිලිබිඹුවෙහි ගැබ් වී ඇති.
දේව හැඩය.
එවිට පලමු වරට දිටිමි.
0 අදහස්:
Post a Comment