මක්නිසාද යත්, උපුටනය 04

>> Monday, October 25, 2010

බිඳෙන් බිඳෙන් ජලේ
පයිප්පයෙන් වැටේ
බෙලෙක්ක ටින් රැගත්
ළමෝ වටා සිටිත්.

ඇටෙන් ඇටේ ඉලේ
හමෙන් නෙරා පෙනේ
බතක් නැතත් කුසේ
බඩත් පිරී තිබේ
උඩින් උඩින්දෙපා
තබා මඩින් මිදී
සුරංගනාවියෝ
මුඩුක්කුවෙන් බසිත්

ඉහින් කනින් පිරී
ඩබල් ඩෙකර් දුවයි
ඇසුත් කනුත් වසා
නගින්නෙ දූවිලියි

නොකා නොබී කෙසේ
මැරෙම්ද හාමතේ
කකා කකා කියා
හඬත්ය කාකයෝ

මක් නිසාද යත්, පිට 17

Read more...

මක්නිසාද යත්, උපුටනය 04

“මම නුඹ කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමි”යි
කවියා සමාජයට කීය.

එබසට සමාජයට හිනා ගියේය.

“මම නුඹ කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමි” යි
සමාජය කවියාට කීය.

මක් නිසාද යත්, පූර්විකාව.

Read more...

තුංමංහන්දිය; උපුටනය 02

ඇඹුල කා ඉවර වූ වහාම උක්කුනුත් මමත් මැඩුවන් කන්දේ අනික් පැත්තට යමු.මැඩුවන් කන්දේම ඇලවී අහස දෙස බලා සිටිමු.මල් වට්ටියක් විසුරුවාක් මෙන් අහස පුරා තාරකා පායා ඇත. තාරකා නිවි නිවී දිලෙයි.මම නිශ්ශබ්දව ඒ දිහා බලා සිටිමි. උක්කුං ඉණෙන් බීඩියක් ගෙන දලවා ගනී. ෂ්…… ඔහු මටත් බීඩියක් දෙයි.මම වටපිට බලා හොරෙන් බීඩිය දල්වා ගනිමි.ලොකු මාමාගේ සීපද හඬ මැඩුවන් කන්දේ එහා කොනින් ඇසේ.පුන් සඳේ ඔහොම නොකරන් හැමදාම.යන් ලඳේ රටට කාටත් නොකියාම. මාමාගේ සීපද හඬ උස් පහත් වෙවී අන්ධකාරය විනිවිදගෙන ඈතින් ඈතට ගලා යයි.එහි කිසියම් ශෝකජනක ස්වරයක් ගැබ්වී ඇත්තා සේ මට හැඟෙයි.මම ඉන් මෝහනය වූවාක් මෙන් අහස දෙස බලා නිශ්ශබ්දව සිටිමි.

තුංමංහන්දිය පිට 31.

Read more...

මක්නිසාද යත්, උපුටනය 03

>> Friday, October 1, 2010

ඇගේ පිළිමයට
මා ගෑ සායම
මගේම කඳුලින් සේදී ගිය පසු
දේවාලය තුල මාදුටුවේ
නිරුවත් සුදුමැලි රාගය පමණයි
පිපාසිතව උඩුබැල්ලෙන් වැතිරුන.

ඊට වඩා මම ඔබට ආදරෙයි
මක් නිසාදයත්:

ඔබ මා මෙන් මිනිස් කෙනෙක්
මස් ලේ ඇට නහරින් සැදි
දයාව, ඊර්ෂාව
ආත්මාර්ථය, කෝපය

මිනිස් ගතිගුණ ඇති.

මක්නිසාද යත්, පිට 7


Read more...

මක්නිසාද යත්

තව සුළු මොහොතකින්
හෙට

අද වෙයි.
ටක්.ටක්.ටක්.ටක්
යකඩ පාවහන් පයලා
නැඟගෙන නැඟගෙන සිමෙන්ති පඩිපෙල
ඉස්තෝප්පුවේ කැරකෙයි
ඉවසිල්ලක් නොමැතිවම

දොර ඇරපන් දොර ඇරපන්
ටක්.ටක්.ටක්.

කවුද? කවුද?
මම!

මම කියන්නෙ?
අද!

කෝ ඊයේ?

ඊයෙ ගියා අතීතයට.

මක්නිසාද යත්, පිට 1 -2

Read more...

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP