16

>> Saturday, August 13, 2011

නො ලියූ කවියක් මෙන්
සිත තුල
ඔබ නලියයි.

හෙට ඉරක් පායයි, පිට 16


59

සුදු තිර ඇද වටකල කාමරය මැද
සුදු ඇතිරිලි එළූ සීතල යකඩ ඇඳ
සුදු රෙද්දෙන් වැසූ
සුදු සියුමැළි සිරුර

වෙවුලන ඇඟිලි අගින් ගෙන
රෙදි කඩ සෙමින් ඉවත් කර
බැලූයෙමි
ඇගෙ
නිසල 
සුදු මුහුණ

නෑසෙයි හුස්ම හෙලන හඬ
අවට කිසිවෙකු කෙරෙන්
සිනාසෙයි මඳ සිනා
අඩක් විවරව දෙතොල
සුරඟනන් හා සමඟ සිහිනයෙන්

මම
නිහඬවම
අවට සිටියවුන්
මුහුණු
බලා
රෙදිකඩ
සෙමෙන් ගෙන
මුහුණ
යළි වැසුයෙමි.


හෙට ඉරක් පායයි, පිට 67


අවුකන පිලිමය

ඇසේ මතුවන කඳුළු බිදු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලවෙන් කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්

නොඅදහා බුදු කෙනෙකු දෙවියෙකු
මානයෙන් වල්මත්ව සිටි මම
ගලක් යැයි ඔබ සිතා සිටියෙමි
තෙතක් හෝ කිසි දයාවක් නැති
ගලින් කල ඔබ හදින් වෑහෙන
මහා කරුණා ගුණය නො පෙනිණි.

අහිංසක හදවත්හි උපදින
මෙලෙක් සංකල්පනා සිතුවිලි
ගලින් කළ ඔබහටම මිස ලොව
ගලින් කළ අයට නෑඟෙයි

කෙලෙස් මළ පිරි නුවර අතහැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආයෙමි පොළෝ තලයේ
අනෙක් පිහිටක් නොමැති වූ විට

ඉහළ නිල්වන් අහස විනිවිද
නැඟෙන ඔබගේ යෝද බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක් කොට ඇත

ඔබේ පාමුල බැගෑපත් ලෙස
වැටී අයදිමි අනේ සාමිනි
ජීවිතේ යම් පලක් ඇත්නම්
කිමැයි ඒ මට කියා දුන මැන.


සක්වාලිහිණි, පිට 53-54


රෝස නටුවේ කටු

විළිබරව අතු අතර
වැදී සැඟවී සිටින
නැවුම් සුදු මල් කැකුළ
විණි මුතුව මල්වරව
විදා මුතු දසන් පෙති
සිනාසෙයි ලෝකයට

දිනක් දෙදිනක් මෙලෙස
අවට ලොව එළිය කොට
සිනිඳු පෙතිවල මෙළෙක
පිණි පොදට සේදෙමින්
ඉන් නැඟුණු සුදු සුවඳ
සුළඟ හා එක්වෙමින්
පිපුණු මල සදහටම
මැරී පරවී වැටෙයි

ඉන් පසුව ඒ අවට
පාළු හිස් ලෝකයට
ඉතිරි වනුයේ කිමද
නටුව අග කටු පමණි.

සක්වාළිහිණි, පිට 69


1.

ඔබ මට සිහිවෙයි
දහසක් ගිලනුන් මියගිය 
මේ ඇඳ මත
නිසලව වැතිරී මම
ඔබ ගැන සිත සිතා ඉඳිමි.

මෙය
මැදියම් රැය විය හැක.
කාලය ගලා නොයයි
විශ්වය නිශ්ශබ්දය.

එකී නිහඬතාවය මැද
ගන නිල් කළුවර තුල
යාන්තමින් සිතට ඇසෙයි
කඳු මුදුනින් බැසගෙන
මිටියාවත් දිගේ ගලන
ඔබේ මිහිරි ගී රාවය.
කවදාවත් නැති තරමට
අද ඔබ මට ආසන්නය.

නිදිබර සුසුම් පොදක්
රහසක් මා කණට කියයි
සියුමැලි ඇඟිලි තුඩක්
මා ඇසිපිය සෙමින් සිඹියි.

ඉවකින් මෙන් මට වැටහෙයි
ඔබ මා ළඟ සිටියි.
උණුසුම් සුළඟක් සේ
පර මල් සුවඳක් සේ.

දැන් මට තනියක් නැත.

නොගැයූ ගීයක තනුවක් වී
නොහෙළූ කඳුළක සිසිලක් වී
නොපැතූ පැතුමක කළලක් වී
නොපෙනී ඔබ මා සමඟ සිටී

සැහැල්ලුය සිත
බරක් නොමැතිය.

අනන්ත අපරිමාණ විශ්වය තුල
සෙමෙන් සෙමෙන් 
විසිරී යන
පුළුන් වලා රොදක් මම.
අනන්ත අපරිමාණ විශ්වය තුල
වෙන අන් කිසිවක් නැත.
ඔබත් මාත් දෙදෙනා හැර

ඌ……………………හ්!
අඳුර සිදුරු කර
පොළව සලිත කර
කීරි ගැහෙයි
යටිගිරියෙන්
ඔබලත් ප්රාණ දෙකක්.

පතිත වෙමි එක වරට
හිරි වැටුන යකඩ ඇඳ මතුපිටට
හීතලයි
දරදඬුයි
පාන්දර විසිහයේ වාට්ටුව.
බෙහෙත් ගඳ,
ම්…හ්…ම්…හ්…ම්…හ්…ම්…හ්

බඩ දඟලයි
උගුරට එයි
කට සෙවලයි
ඇඟ කකියයි.

සුදු මිසී නිදිකිරයි
මික්ස්චර් ගත්තද?
නින්ද හොරද?
තව පෙත්තක් දෙන්නද?

ලොකු සුදු පෙති
පොඩි සුදු පෙති
කහ රතු පෙති
කැප්සියුල්ස්
කෑමට පෙර 
කෑමට පසු
How are you mister?
වෙනසක් නෑ ඩොක්ටර්…

නොමියෙමි පිට 17-20


වැස්ස.

>> Thursday, August 11, 2011

ආච්චියේ මේ බලන්න
දේදුන්නක් පායලා
රතු පාටට
නිල් පාටට
අහස දිගට පායලා….

දෙයියෝ දේදුන්න අරන්
වලාකුළට විදිනවා
එතකොට ඒ වළාකුලෙන්
වැස්ස කඩා හැලෙනවා…

පුංචි පුංචි වතුර බිංදු
මිදුල පුරා පිපෙනවා
අම්මේ මේ චූටි මල්ලි
මිදුලේ වැහි නානවා…..


කලාමැදිරි.

ගහ පුරාම තාරකා
පුංචි පුංචි තාරකා
පණ ඇවිදින් තාරකා
ඉගිලෙනවා තාරකා…

නිල් අහසේ තාරකා
මල් පිපෙනා තාරකා
මා වටකර තාරකා
කලාමැදිරි තාරකා….


පුංචි මාත්.

පුංචි උදැල්ලෙන් මිදුලේ
පොළව කොටනවා
පුංචි අතින් පුංචි පුංචි 
පැළ සිටවනවා…..

පුංචි පැලේ මල් පිපිලා
කරල් හැදෙනවා
පුංචි මාත් ලොකු මිනිහෙක්
කියා සිතෙනවා…


අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා..

අඟුරු කකා වතුර බිබී
කොළඹ දුවන යකඩ යකා..

අත් දාහයි
පා දාහයි
දිගම දිගයි
එකම ඇහයි.

අඟුරු කකා වතුර බිබී
කොළඹ දුවන යකඩ යකා..

හූ කිය කිය
දුම් දම දම
සෙනඟ අරන්
කොළඹ ගිහින්
සෙනඟ අරන් එනවා…



පුංචි පුංචි තාරකා…

>> Friday, August 5, 2011

පුංචි පුංචි තාරකා
ගහ පුරාම තාරකා
පණ ඇවිදින් තාරකා
ඉගිලෙනවා තාරකා…

අහස පුරා තාරකා
දිළී නිවී තාරකා
ඊට උඩින් තාරකා

හඳ වටකර චන්ද්රිකා
අද යනවා චාරිකා
කඳු වැටි ගංගා මුහුදු දිගේ
කාන්තාර වන ගහන දිගේ..



මම ආසයි..

වැස්ස වගේ ආකාසෙන් 
වහින්න මම ආසයි
වතුර වගේ වැව් විල් වල
පිරෙන්න මම ආසයි..

ළියදි දිගේ එහෙන් මෙහෙන්
ගලන්න මම ආසයි
ලපටි ගොයම් දළුත් එක්ක
නටන්න මම ආසයි..

පෙත්තප්පු.

>> Thursday, August 4, 2011

උඩින් උඩින් එන පෙත්තප්පු
බිමින් බිමින් එන පෙත්තප්පු
ඇඟ කොළ පාටයි - හොට රතු පාටයි
සින්දු කියන පොඩි පෙත්තප්පු…

කජු ගහ මුදුනේ කොල අස්සෙන්
සර සර ගාලා පියාඹමින්
පිහාටුවක් මට දීලා යනවද
තරහ නැතුව පොඩි පෙත්තප්පු..


තාත්තා..

පුංචි කාලෙ ඉඳලා මම
ආදරයෙන් ඇමතූ හඬ
මැකී ගියා,
දොළොස් විය ඉක්මෙන්නටත් පෙරාතුව.
ගස් වැල් හඬා වැලපින
මහත් සේ කම්පා විය.

සිරුරෙන් ඉතුරු වුන අළු රැගෙන
තැන්පත් කලෙමු සොහොන් ගැබක
සදාකාලයට සුරැකෙනු පිණිස.

පස් වසකට පසුව රැයක
පාළු අඳුරු රුදුරු රැයෙක
කණකොකෙක් වේදනාවෙන් හඬා ගියේ
අප ආදර සිහිවටනය
සොරාගෙන ගියෙන්දෝ..

නන්නාදුනනා කිසිවෙක්
සිටියෙහිද ඔබ හා බිඳී
නොඑසේ නම් කිමද මෙවන්
කලේ විපතක් නොසිතු සේ…

ශේෂා පාථලී මහගමසේකර.

මහගම සේකර කවියාගේ සොහොන් කොත හාරා එහි තිබූ අළු බදුන වසර පහකට පසු හොරු ගෙන ගියේය. මේ සේකරගේ එවකට දොලොස් හැවිරිදි දියණිය පුවත් පතකට ලියා යවා තිබූ කවියකි.


අහිකුණ්ටිකයෝ..

>> Monday, August 1, 2011

අම්මේ මම ඉස්කෝලෙට
යනකොට අද දැක්කා
අහිකුණ්ටිකයන් තවලම
බදුවත්තට ආවා…

ගෑණු රබන් ගහනවා
පිරිමි නලා පිඹිනවා
නයා පෙණේ ඇළ කර කර
නළා හඬට නටනවා….

බලු කුක්කෝ පේලියයි
බූරු පැටව් පේලියයි
බදු වත්තේ සෑම තැනම
කූඩාරම් පේලියයි…



  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP