බිංදු බිංදු වැහි..

>> Sunday, September 4, 2011

බිංදු බිංදු වැහි මිදුලට වැටෙනා
බිංදු බිංදු මල් තැන තැන පිපෙනා
සීත සුළං ගෙට හිරිකඩ ගෙනෙනා
සීතලේම ඇඟ හිරිගඬු පිපෙනා

වහලෙන් වැහි එක දිගට වැටෙනවා
පුංචි ගඟත් එක දිගට ගලනවා
එපයි කියා මට කිව්වත් අම්මා
තෙමෙන්නමයි හිත මිදුලට පැනලා…


තට්ටු දෙකේ බස්

තට්ටු දෙකේ බස් එනකන්
ඉස්කෝලේ යන ලමයින්
රංචු ගැහී පාර දිගට 
බලා ඉන්නවා
උඩ තට්ටුවටම නැඟලා
ඉස්සරහින් වාඩි වෙලා
සන්තෝසෙන් හිනා වෙවී
ඉස්කෝලේ යනවා…

තවකල් යනකොට අම්මේ
මේ වගෙ
තට්ටු දහය පහලොව ඇති
බස් ඒවිද අපිට යන්න?

එතකොට අපි
ඒ බස් වල
ඉහලම තට්ටුවට ගිහින්
හඳ හාවා අල්ලන්නට
ආකාසෙට යනවා…


සිරි ලංකා

අහස අපේ
මුහුද අපේ
පොළව අපේ
සිරි ලංකා

වැසි සැදි අහසයි
මුතු සැදි මුහුදයි
මිණි බැඳි පොළවයි
සිරි ලංකා

අප ඇස සනසයි
අප හද පුබුදයි
අපටම බාරයි
සිරි ලංකා

පුංචි කුරුල්ලෝ
පුංචි කුරුල්ලෝ
පියා සලා උඩ අහසේ
ඉගිලෙන විට කුරුල්ලෝ
දැකපු හොඳම ලස්සන රට
කොහෙද කියන් කුරුල්ලෝ

වැල්ල දිගට රැල්ල නැඟෙයි
මුහුද නිලයි හෝ හෝ
සිළි සිලී ගා සුළඟ හමයි
ගොයම නටයි හෝ හෝ
ඇල දොළ ගං හෝ හෝ
ඒ රට සිරි ලංකාවයි
අපේ රටයි හෝ හෝ……



ඔරු

ඉවර වෙච්චි කොපි පොතකින්
එක කොලයක් ඉරාලා
දෙකට තුනට නවාලා
වැහි වතුරට
අගුව දිගට
ගලන ගඟට දමනවා….

ඔරුව ගඟේ පාවෙලා
ටිකක් දුරට ගිහිල්ලා
වැහි වතුරට යට වෙලා
අන්තිමේදි ගිලෙනවා

ගිලෙන ගිලෙන ඔරු ගනනට
තව තව ඔරු හදනවා
හදන හදන ඔරු එක එක
ගලන ගඟට දමනවා
දමන දමන ඔරු එක එක
අගුව දිගේ පාවෙලා
ටිකක් දුරට ගිහිල්ලා
වැහි වතුරට යට වෙලා
අන්තිමේදි ගිලෙනවා..


සරු පොළවක් අපට ඇතේ

රට සරු කොට පෙරට ගන්න
ඉන්නෙත් අපිමයි
රට වෙනුවෙන් පෙරට යන්න
ඉන්නෙත් අපිමයි

සරු පොළවක් සමඟ අපිට
සවිබල දෑතක් ඇතේ
මේ රට දෙව් ලොවක් කරන
අරමුණකුත් ඇත සිතේ

හෙට වන විට මේ දූපත
සව්සිරියෙන් ඉතිරෙනවා
ඒ සිරි සැප ගෙන එන්නට
අපේ දෑත වෙහෙසෙනවා
අද මෙහි සිටිනා පැරකුම්
රජවරු අපිමයි
රාහුල කිවිවරු මහසෙන්
දෙවිවරු අපිමයි

මේ අපගේ මව් රටයි
මේ අපගේ පිය රටයි

අප හැම උපදින රටයි
අප හැම මිය යන රටයි

සම් මස් ලේ නහර අපේ
මේ රටටම අයිතියි
මේ රට වෙනුවෙන් ජීවිත
පුදන්න අපි කැමතියි.


කඩදාසි ඔරු

වැස්ස වෙලාවෙන් අහසේ
වතුර බිංදු වැටෙනවා
පුංචි ගඟක් එතන හැදී
අගුව දිගට ගලනවා…

අක්කාගේ කොපි පොතකින්
එක කොලයක් ඉරාලා
දෙකට තුනට නමාලා
පොඩි ඔරුවක් හදාලා..

ඔරුව ගඟට දමනවා
අතින් තල්ලු කරනවා
මෙන්න
ඔරුව හෙමින් හෙමින්
ගඟ පහලට ඇදෙනවා….



නංගිගෙ දත වැටුනා

අම්මෙ
අම්මෙ
මේ බලන්න
නංගිගෙ දත වැටුනා
නාකිච්චී නාකිච්චී
නංගිගෙ දත වැටුනා

සමන්පිච්ච පඳුර උඩින්
වහලෙට ගිය ලේනා
ටිං ටිං ගා හිනා වෙමින්
නංගිට අඬ ගානා..

උඹ වගේම නංගිට දැන්
හිනා වෙන්න බැරියෝ
ලේනෝ මේ දත අරගෙන
කැකුළු දතක් දියෝ…



මැසිමක් හැදුවා

මැසිමක් හැදුවා
මැසිමක් හැදුවා
පොල් බැට්ටෙන් මං
මැසිමක් හැදුවා

ටක ටක තාලෙට
තිත් තිත් වැටිලා
කොලයෙන් කොලයට 
මැහිලා යනවා

නංගිගෙ ගවුමයි
මල්ලිගෙ කමිසෙයි
අම්මගෙ හැට්ටෙයි
සීයගෙ සරමයි
සේරම මේකෙන්
මහලා දෙනවා…



පාට පාට සරුංගල්

පාට පාට සරුංගල්
වෙල පුරාම සරුංගල්
කූරි කොටන සරුංගල්
ඈතට යන සරුංගල්

ලොකු අයියා හදපු නයා
කැරකි කැරකි ඉහල ගියා
ඔක්කෝටම ඉහල ගියා
පුංචි වෙවී නොපෙනි ගියා

අපි දිනුවා
අපි දිනුවා..


  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP