පරලොවින් කටහඬක්…

>> Wednesday, March 31, 2010

තුංමංහන්දිය; උපුටනය 02

>> Tuesday, March 30, 2010

තුංමංහන්දිය තුලින් කාලය පියාඹන අයුරු සේකර අපූරුවට නිර්මාණය කරයි. ඒ සමඟම කාලයත් සමඟ නිරාකරණය නොවන ගැටලු පිලිබඳ ව ඉඟි කරයි.
“ නාකි උදවිය මැරී කොල්ලන්ගේ රවුළ එන්නට පටන් ගනී. ඒත් රදාවානේ හන්දිය වෙනස් නොවේ. ඒක එතැන ම එහෙමම තිබේ. අන්දර ගහ, අම්බලම, කඩ දෙක තුන, ඉස්කෝලයේ පවා කිසිම දියුණුවක් නැත. උපන්නාට මේ ලොව වැනෙනවා වගේ ඔහේ ආවාට ගියාට තියෙයි”
සේකර එතැන් සිට යව්වනයේ විප්ලවීය නිරීක්ෂන ශක්තිය පිලිබඳ ඉඟි කරයි.
…………. A ගේ පඩියෙන් 3/16ක් ඇඳුම් පැලඳුම් වලටද, 1/20ක් පුණ්ය කටයුතු සඳහාද, 3/10 ක් කෑමටද, 1/5 ක් ගෙවල් කුළී සඳහාද වියදම් වේ.ඉතිරි මුදල ඔහු බැංකුවේ දමයි. A මාසයකට රුපියල් 26.00 බැංකුවේ දමයි නම් ඔහුගේ මාසික ආදායම සොයනු. A මහා පුදුම මිනිහෙක් විය යුතු යැයි මට සිතේ. ඔහු අකුරටම ගනන් බලා පඩියෙන් 3/16ක් වියදම් කරන්නේ මාසයක් ගානේම ඇඳුම් ගන්නටය. මාසයක් ගානේම පඩියෙන් 1/20ක් පිනට දෙයි. තාත්තා සරමක් ගන්නේ හත් අට මාසයකට වරකි. හිඟන්නෙක් ආවොත් ශතයක් දෙකක්, හාල් ටිකක් දෙනවා මිස මේ විදිහට ගනන් බලා මාස් පතා දොර දන් දීමක් නැත. A මහා පෝසතෙකු විය යුතු යැයි මට සිතේ. ඒත් එච්චර පෝසතෙක් නම් පඩියෙන් 1/5ක් ගෙවල් කුළී ගෙවා අනුන්ගේ ගෙයක ඉන්නේ කුමකටද? ඇත්ත වශයෙන්ම මේ මිනිහාගේ ආදායම කොතෙක් දැයි සොයා බැලීම වටී…”

උපුටනය : මහගම සේකර හා ඔහුගේ නිර්මාණ, ඌවේ නිර්මාණකරුවන්ගේ එකමුතුව.

හෙට ඉරක් පායයි උපුටනය 08, සංයුක්ත කවි පෙලක්.

>> Monday, March 29, 2010

ජනතාවෝ

>> Sunday, March 28, 2010

(සමූහ ගායනය)

ජනතාවෝ අපි ජනතාවෝ
මව්බිම රකිනා ජනතාවෝ
මව්බිම ගං හෝ කෙත්වතු සාගර
දෑතින් දරනා ජනතාවෝ
සම්පත කැටිවුන මව්බිම පොලවට
ආසිරි සලනා ජනතාවෝ

ළං ළං වී එන ජය ගී නාදය
අසනා කන අපි ජනතාවෝ
පින් බර හෙට දින ජයසිරි මහිමය
දකිනා ඇස අපි ජනතාවෝ

එකම හැඟුමකින්
එකම පැතුමකින්
එකම අදිටනින් එකට බැඳී
උදාර වූ එක අරමුණකට යා
එක හදවත අපි ජනතාවෝ..

සංගීතය : අමරදේව
ගායනය : අමරදේව සහ විමලා අමරදේව
ප්රබුද්ධ ගීයකි.


ප්රාර්තනා

(සමූහ ගායනය)

සමනොල සිරසින් අහසට නඟිනා
දහසක් අපගේ ප්රාර්තනා
සිව් මහ ගංගා පිටාර ගලනා
දහසක් අපගේ ප්රාර්තනා
නිල්බර තුරුලිය කෙත්වතු මුදුනින්
දහදිය පීදෙන ප්රාර්ත්නා
තරුකැට විලසට හෙමිහිට හෙමිහිට
පායාගෙන එන ප්රාර්තනා
සිරිමා බෝ මැඩ ලා දලු සෙවනේ
සිලි සිලි හඬ දෙන ප්රාර්තනා
පැරකුම් සමුදුර වෑ තල මතුපිට
දිය රැළි ලෙල දෙන ප්රාර්තනා
වනහිස මුදුනේ නිසසල පිලිමේ
මන මෙත් කරුණා ප්රාර්තනා
දෙදහස් පන්සිය වසරක් ගමනේ
අවසන ඉටුවන ප්රාර්තනා
මව් පොලවේ රස නහර දිගේ සුව
සැපත පෙරී එන ප්රාර්තනා
කඳු සමතල වී ගොඩමඩ සරුවී
නව රැළි ලියලන ප්රාර්තනා
වෙනසක් නොමැතිය සොහොයුර එකමය
ඔබගෙයි අපගෙයි ප්රාර්තනා
සම්පත සාමය සතුට පිරී ගිය
නව ලොවකට යන ප්රාර්තනා


හෙට ඉරක් පායයි, උපුටනය 07

>> Friday, March 26, 2010

14.
පුංචි පුංචි මල්
සුදු සුදු පාටින්
ගස වටකර පිපෙතෙයි

රේනු උරන වන බඹරිඳු ඇවිදින්
ඒ මත හිඳ හඬතෙයි

රෑ
එලි වන තුරු
අඹ ගස
මු
ඳු
නෙ
න්
කොවුල් නාද කරතෙයි
අවුරුදු දවසට
මී අඹ කන්නට
නෑනා 
මෙහි වඩිතෙයි


හෙට ඉරක් පායයි, උපුටනය 6

6.
ජනවාරි මාසයෙනි
අවුරුද්ද ඇරඹුනේ
මා පුංචි දවස් වල

එහෙත්
දැන් එය පටන්ගන්නේ
නොවැම්බර මාසයෙන්
නොවැම්බර මාසයේ
ඔබ මගෙන් වෙන් වුනෙන්



හෙට ඉරක් පායයි, උපුටනය 5

4.
ඊයේ රෑ
මම කනත්ත පාරෙන් එනවිට දුටුවෙමි
මැණික් ගොඩක්
දුවලා එතනට
ලං වී බැලු විට
පිපිලා තිබුනා හතු වගයක්.



හෙට ඉරක් පායයි උපුටනය 4

3.
කුසලානේ
ලූ
මිදියුස
කුසලානේ
හැඩය ගනී
කුසලානේ
ලූ
විෂ වුව
කුසලානේ
හැඩය ගනී


හෙට ඉරක් පායයි උපුටනය 3

2.
………….එහෙත්
එය නිෂ්ඵලෙයි නොකියන්න
ඔබගේ ආදරය
මට
අන් ලෙසකින් පල ගැනින
මා ලියූ මෙතෙක් කවි
උපත ලැබුවේ එයිනි…



රාජතිලක, ලයනල් සහ ප්රියන්ත, උපුටනය 04

ලයනල් පොත කියවයි
ඇඳේ ඇලව.
ප්රේමවතී ඔහු අසලින් හිඳගෙන….
ඔහු අත ගෙන
සෙමින් සෙමින් පිරිමදිමින්
නොකියා සිටි යමක්
‘මේ……’
හදිසි ආලෝකයක්
පහළ වූ කලක මෙන්
මොහොතකින් ඔහු මුහුණ එකලු විය.
ඒ එළියෙන් ඔහුට පෙනිණ
ප්රේමවතී නොකියූ දෙය.
සතුට පෙරෙන ආදරයෙන්
ඇයගේ නළලත සිඹ
ඔහු ඈ වැළඳ ගනී..

‘පුතෙක් නම් ප්රියන්තයි
දුවෙක්නම් ප්රියන්තා…’

පිටු අංකය: 55


රාජතිලක, ලයනල් සහ ප්රියන්ත, උපුටනය 03

නොදකින්
කාලකන්නි…!
වෙලාවකට මට හිතෙනව
මේ ඔක්කොම දමලා ගෙදර යන්ඩ.
පුපුරන එවුන් මිසක ඉරිසියාවෙ
මෙහේ කොහෙද ළෙන්ගතු අය?
ඉබේට කටින් හැලෙන
ගුඩීවිනිං
ගුඩ් මෝනිං
පරඬල් වචන මිසක.

ජයවික්රම මැරුණා
අල්ලපු ගෙදර එවුන් ඒක දන්නෙ
පහුවෙනිදා සොහොනට ගිනියනකොට
ගමේ ඔහොම දෙයක් උණොත්
හැමෝම එකතුවෙලා
මග තොට මිනී පිටිය කොඩි ඇදලා
වළ කපලා
කර ගහගෙන
පස් වහලා
මුලු දවසම ඒ වැඩේට.
මෙහෙ?
පෙනිල යනව, සුදු පාටට

උඹෙත් මගෙත්
හැම මිනිහගෙම යටි හිත හැම තිස්සෙම
තව තව ඉහළ යන්ඩ.
එතන තමයි තරඟෙට මුල.
ඒ තරඟය අතහැර
උඹට බැරිය ගමට යන්ඩ.

පිටු අංකය: 30


අපාර වූ ආකාසේ

>> Wednesday, March 24, 2010

අපාර වූ ආකාසේ
වලා සිඳුන බොල් එලියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී..

ඇසට කඳුලු දිය නැඟුනේ
හදට තෙතක් ලබා දෙන්න
ඇසෙහි කඳුලු ඉවර දිනේ
හදට නොමැත ඒ තෙතමන…

අපාර වූ ආකාසේ
පිරී පැතිරි නිල් දියඹේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී..

ඇසේ කඳුලු සිදී ගොසින්
ගල් වූ හද තෙත් කරන්න
ඔබේ ඇසේ දයා දියෙන්
කඳුලු පොදක් මට හෙලන්න..

ඉර හඳ නැති රෑ යාමේ
හද කැටි වුන කාන්සියේ
ඔබේ දෑස නිවී දිලී
නිසොල්මනේ බලා හිඳී….

සංගීතය : අමරදේව
ගායනය : නන්දා මාලනී සහ අමරදේව



මලින් මලේ රේණු උරා

මලින් මලේ රේණු උරා
රඟන බමර සතර දිගන්තේ
රන් රසු දැල් රාව දිදී
මවයි සීන මදුර වසන්තේ

ජීවිතයේ සැපත උදා කරන විලාසේ
මී බඳුනේ මූණ පෙනී සතුට සිනා සේ
ගී ගයලා මත් වීලා ඔකඳ වෙලා නැලවීලා
සිනහ මුවින් නැගෙන උදම්…

සංගීතය : අමරදේව
ගායනය : අතුල සෝමසිරි සහ පිරිස.

ආදරයයි කරුණාවයි චිත්රපටයෙනි.


රාජතිලක, ලයනල් සහ ප්රියන්ත, උපුටනය 02

>> Tuesday, March 23, 2010

රන් රඹුටන් ජම්බු දොඩම්
අන්නසි ලොවි පේර දෙලුම්

සුවඳ විඳින මල් පලතුරු
නුවන අදන බඩු විසිතුරු

සහල් ඉරිඟු මෑ මුං තල
දොදොල් හකුරු මී අග්ගල

රන් මිණි මුතු බරණ ලකල්
නන් පැහැ පට පිලී දුහුල්

ආසියානු මඟ දෙපසේ
සෑදුනු සල්පිල් සහසේ

වෙළඳ අඟන තුණු රුවිනී
බොළඳ මිහිරි මද හසිනී
මගිනගෙ මන බැඳ ලමිනී
කැඳවති තම වෙත නිතිනී..
රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත, පිට 66

රත්න දීප.

>> Monday, March 22, 2010

රත්න දීප ජන්මභූමි
ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ
මාතෘ භූමියයි..

ආදි සිංහලේ
වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ
මාතෘ භූමියයි….

මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් - සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හැලූ ලේ කඳයි..

සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි.

ගංඟා තරංග රාව දී රිදී වනින්
මල් පිපී කුළෙන් කුළේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැඟී
වීරයන්ගෙ ඒ යශෝ ගීතයයි…

බෝඩිම, පිට 42,23
පසුවදන:

1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් විය.මේ අවස්තාවේ ජනරජ ගීතයක අවශ්යතාවය ඇති විය.ඒ සඳහා තරගයක් පැවැත්වුවද සේකර ඊට ඉදිරිපත් නොවුනි.තරඟ විනිශ්චයේදී සිදුවූ අකටයුතුකම් නිසා ඒ තරඟය අවලංගු වූ අතර ඉන්පසු ගීත රචකයන් කිහිප දෙනෙකුට ආරාධනා කෙරුණි.සේකරද ඒ අතර විය.එහෙත් සේකර ලියූ ගීතයට තැනක් නොලබුණි. අදිසි හස්තයක් ක්‍රියාත්මක වී වෙනත් ගීතයකට මුල් තැන ලැබුණි. එහෙත් ඒ ගීතය අද අසන්නට නැත.එහෙත් සේකරගේ පදවැල ජනතා හදවත්හි ලැගුම් ගෙන ඇත. ඒ ඉහත ගීතයයි.
ඉහත සිද්ධිය සේකරගේ සංවේදී හදවත තදින් පාරන්නට සමත් විය.

අන්තිම කවිය.

මා මිය ගිය දවසක
සොහොන් කොතේ
ලියන්න දුක් ගීයක්
නන්නාඳුනනා ඔබගේ අත් අකුරින්..

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
රෑහි නඟන රැවු අතරින්
එතකොට ඒ ගී හඬ මට ඇසේවි.

මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කල බව
එතකොට ඒ ගී හඬ මට කියාවි..

අමරදේව ශූරින් ගායනා කරන ඉතා ජනප්‍රිය “ මා මල පසු සොහොන් කොතේ” ගීතයට පාදක වූ කවි පන්තිය.

බෝඩිම, පිට 94

හඳ සහ නිව්යෝර්ක් නුවර…

කලු ගැහී තරඟයට ඉහල ගිය
සිමෙන්ති බිත්ති මිසක
ඇසට නිලට
අහසක් ගහක් කොලක්
අවටක් නැත.
නිව්යෝර්ක් නම් පුරවර
සියක් මහල් එක්ටැම් ගෙය මුදුනේ
දොර ජනෙල් වසා සිරකල කාමරයක
ඇඳක්-පුටුවක්-මේසයක්
මම.

මහපොලවේ අනික් පැත්තෙ
සෙනෙහැති දෙමාපියන්
නෑ මිතුරන් අඹු දරුවන්
මට සිහි වෙයි.
පලවන්නට මළ පාලුව
කවියක් හඬ නඟා කියමි
නින්නාදව ආපසු එයි මගෙ කටහඬ
මගෙ කනටම.
යා යුතු අතක් නොදැන
කවුලුව හැර එබී බලමි.
ප්‍රපාතයට එබී බලමි
මූණට කටු ඇනගෙන
සීතල කඩා පනින.

අසුවී විදුලි එලිය පිටාරයට
මොර දීගෙන යයි වාහන ඒ මේ අත
ඉවසිල්ලක් නොමැතිව
දිවගෙන යයි ඒ මේ අත
කුරා කුහිඹු මිනිස් යන්ත්‍ර
මොහොතක් නැවතී මා දෙස
ආදරයෙන් බලන කෙනෙක්
වගතුග අසන කෙනෙක්
දන්නා හදුනන්නෙක්
මෙතන නොමැත
ඒ හැම දෙන මහ පොලවේ අනිත් පැත්තෙ
මට සිහි වෙයි.

මහා දුකින් ඉහල බලමි


දිලිහි දිලිහි ආකාසේ
රන් පිඟාන සේ
හඳ..
මා දන්න හදුනන
අපේ ගමේ වෙල් එලියට පායන හඳ
පෝය දාට බෝ මලුවට පායන හඳ.

බෝඩිම 48-49 පිට

නොමියෙමි… 20 වන පරිච්චේදය

>> Sunday, March 21, 2010

දොස්තර මහතාණෙනි

මේ ආබාධය කුමක්ද කියනු මැනව

මේ ආබාධය කුමක්ද

සොයාගෙන නැත තවම.

දොස්තර මහතාණෙනි

මේ ආබාධයට හේතු කියනු මැනව,

මේ ආබාධයට හේතු

සොයාගෙන නැත තවම.

දොස්තර මහතාණෙනි

මේ ආබාධයට බෙහෙත් කියනු මැනව

මේ ආබාධයට බෙහෙත්

සොයාගෙන නැත තවම.

තමුසෙ එහෙනම් බම්බු ගහනව…!

නොමියෙමි, පිට 117

නොමියෙමි… 15 වන පරිච්චේදය

>> Saturday, March 20, 2010

දවසක් දා

කැටපත ඉදිරියට ගොසින්

ඇඳි සලු පිලි උනා දමා

හෙලුවැල්ලෙන් බලා උනිමි.

ඈත අතීතේ දිනකදි

අන්ධකාර ගුහාවකදි

වැද්දකු තව වැද්දකුහට

මුණ ගැසුණා මෙන් විය.

මම

මගේම පිලිබිඹුවට

නිකමට විරිත්තුවෙමි.

එවිට ඔව්හු දුනුහී ගෙන

සටනට සැරසුණාහ.

සිනාසුණෙමි.

දුනු ඉවත දමා

එවිට ඔව්හු මිතුරු වූහ.

බැටලු රන්චු දක්කාගෙන

තණ බිමකින් තණ බිමකට

ඇවිද ගියෙමි

බිම සී සා දිය බැඳ

වී වපුරා

ශිෂ්ටාචාරය ඉන් නෙලා ගතිමි.

යාග හෝම බිලි පූජා

වේද මන්ත් ගී කීවෙමි

ගයා ශීර්ෂයේදි

බෝ මැඩ විප්ලවය දුටිමි

මංගල දේශනාව

කන්ද උඩදි අසා උනිමි.

බැබිලෝනය

ග්රීසිය

චීන මහා ප්රාකාරය

හිරු නොබසින අධිරාජ්යය

ගොඩ නැඟුවෙමි.

සක්වල තුල විදුලි වෙයින් ඉගිල ගොසින්

මහ පොලවට

සඳ කතරින් වැලි ගෙනාමි.

එනමුත් මට වැටහෙයි:

මම තවමත් ළදරුවෙක්මි

ලොව ගැන කිසිවක් නොදන්න.

ලොව ගැන තිබියේවා.

මා ගැනවත් මම නොදනිමි.

මම?

මම කවුරුන්ද?

මම නොදනිමි.

කැටපත මත පිලිබිඹුවෙන්

මම කවුරුද?

මම ඇසුවෙමි.

පිලිබිඹුවෙහි ගැබ් වී ඇති.

දේව හැඩය.

එවිට පලමු වරට දිටිමි.

නොමියෙමි, පිට 88,89,90

සේකර පිළිඹඳව කෙටි වාර්තා වැඩසටහනක්

තුංමංහන්දිය චිත්රපටයේ තේමාගීතය

තුංමංහන්දිය - සේකරගේ සන්වේදීභාවය

තුංමංහන්දිය මහගම සේකරගේ සන්වේදී භාවය, දයාවී ගුණය, පෞරෂත්වය, අව්යාජත්වය පෙන්වන කැඩපතක් බඳුය.
‘මහගමට තිබුනේ පුදුම විදිහේ සන්වේදී මනසක්.සියුම් හඬක් වුණත් ඔහුගේ හද සසල කලා.රෝහලකට ගියත් ලෙඩුන්ගේ කෑගැසීම් අවධානයෙන් අසා සිටියා.ඔහු හැම දෙයක් ගැනම අවධානයෙන් පසු වුනා.අප එතරම් නොසලකන සිදුවීමක් පවා ඔහුට යම් කිසි අත්දැකීමක් ලබා දුන්නා’

කුසුමලතා මහගම සේකර මහත්මිය සේකරයන්ගේ සන්වේදීතාව හා නිරීක්ෂණ ශක්තිය ගැන එසේ පවසයි. එයට කදිම උදාහරණයක් තුංමංහන්දියේ ඇත.
“……….තුවක්කුව මාමාට නොගැලපෙන ආයුධයකි. මාමා ආයුධ කිව්වේ මේවාට නොව කඩදාසි මල් කපන නියන් වලටය. මම ඇඳ යටට එබී බැලුවෙමි.මමාගේ ආයුධ පෙට්ටිය ඇඳ යට සුරැකිව තබා ඇත.එහි දූවිලි හා මකුලු දැල් බැඳිලාය.තව දුරටත් මේ ආයුධ වලින් මාමාට වැඩක් වේදැයි මට සිතුණි.ඔහු අලුත් ආයුධයක් තෝරාගෙන ඇත.එහෙත් ඒ ආයුධය ඇත්තේ විසිතුරු කැටයම් කැපීමට නොව වෙඩි තැබීමටය.වත්තට හොරෙක් ආවොත් මාමා ඔහුට වෙඩි තියයි දැයි ඊළඟට මට කල්පනා විය.දවසක් වතුර වීදුරුවකට මැස්සෙක් වැටී සිටියේය.මාමා පරිස්සමින් ඌ සුලැඟිල්ලට ගෙන ඌ දෙස බලා සිටින්නට විය.ටික වේලාවකින් මැස්සා ඉගිලී ගොස් බිත්තියේ වැසුවේය. ඌ ඉගිලී යනහැටි බලා සිටි මාමාගේ මූණේ මද ආලෝකයක් ඇති විය……”
උපුටනය : මහගම සේකර හා ඔහුගේ නිර්මාණ, ඌවේ නිර්මාණකරුවන්ගේ එකමුතුව.


නොමියෙමි උපුටනය 01

>> Friday, March 19, 2010

මොනවා?
චන්දන මැරිලා?
දෙමවුපියන්ගෙ ඔක්කොම ප්රාර්තනා
බිඳ වැටිලා
වීදුරු කටු ඇඳ පාමුල දිලිහෙනවා.
බලාගෙනයි ඇවිදින්නේ
කකුල කැපෙයි.
කවුද එතන කැරකෙන්නේ
බඩ මහතට
ඇස් රතුවට?
මට නම් හෝදිස්සියක් නෑ……

මහත්මයා කොහේද?

ඇයි දන්නෙ නැද්ද?
යව්දිව් සිල්වා සහ පුත්රයෝ.
ටවුමෙ ලඟදි ඇරිය
මිනී පෙට්ටි සාප්පුවේ අයිතිකාර.

පිරෙන්ඩ එපා මෙතන
කරුණාකරල අයින් වෙන්න
කවුරුත් නිශ්ශබ්ද වෙන්න
අඬා දොඩා වැලපී දැන් පලක් නොමැත.
මරණය කොයි කාටත් උරුම දෙයක්
දැන් තියෙන්නෙ
පුලු පුළුවන් හැටියට
අවමන්ගල කටයුතු ටික කරන එකයි
වියාපාරයක් නොවෙයි අපි කරන්නෙ.
මහජන සේවයක් මිසක.

මැරෙනතුරා ඔබ
බලා සිටිමු අප
අවසාන ගෞරවය කරන්නට.
එතෙක් මතක තබා ගන්න.
මැරෙන ලෝකයේ නොමැරෙන නාමය.
අයි.ඕ.යව්දිව් සිල්වා
මන්ගල - අවමන්ගල අද්යක්ෂක.
ටුන්….



නොමියෙමි පිටු අන්ක : 84-85

රාජතිලක, ලයනල් සහ ප්රියන්ත උපුටනය 01

කාරෙක අරන් මරදානෙන් යන කලට
කාර් වෑන් ලොරි බ්ලොක් වී මග දිගට
ඉඩ බල බලා කපමින් ඒ මේ අතට
කූඹින් වගේ හෙමිහිට ඇදෙති හිට හිට

කාර් එකේ ඇන්ජිම ගැහෙනවා මෙනේ
ඔහුගේ පපුව වේගෙන් ගැහෙනවා දැනේ
දැන් දැන් හිටියි ඇන්ජිම ඊයෙ වගේ
හිටිය, හිටියි හිටියොත් නම් හරිම වැඩේ,

හෝන් ගසති පිටිපස්සෙන් එක හඬට
එහෙන් මෙහෙන් යති රවමින් කාරෙක ට
එතකොට පොලිස් භටයා බැසවිත් බිමට
තල්ලු කරයි කාරෙක අයිනට ගන්ට.

රාජතිලක, ලයනල් සහ ප්රියන්ත.. පිට 25

ඔහු නික්ම ගොස් තිබිණි….

……….ඒ 1976 ජනවාරි 14 දාය. සිය සේවා ස්ථානයට රැකියාව පිණිස පැමිණි සේකර ඒ කටයුතු නිමවා පසුදාට නියමිතව තිබූ තවත් කාර්යයක් සදහා අදාල පිරිස් මුන ගැසීමට ගියේය. පසුදාට සේකර ලියූ, අමරදේවයන් ගැයූ ‘රත්නදීප’ ගීතය පදනම් කරගත් යසෝගතය නම් කෙටි චිත්රපටයක රූගත කිරීම් අරඹන්නට නියමිතව තිබිණි.එකී වර්ණ චිත්රපටය ඇරඹෙන්නට තිබුනේ අමරදේවයන් සහ මහගම සේකර පෙනී සිටින රූපරාමුවකිනි. සේකර, අමරදේවයන්ද, චිත්රපට නිර්මාපකයන්ද හමුවී පසුදා එනම් ජනවාරි 15 දා ගම්පහ සිට දුම්රියෙන් කොටුව දුම්රිය පලට එන්නට කතිකා කර ගත්තේය.
අනතුරුව ඔහු ගියේ ෙබෟද්ධ විශ්වකෝෂ කාර්යාලයටයි. ‘ප්රබුද්ධ’ කාව්යයේ පෙරවදන ලියනු සදහා මහාචාර්ය ජෝතිය ධීරසේකර මහතාට භාර දෙන ලද්දේ ඒ තීරණාත්මක දිනයේදීය.
‘ප්රබුද්ධ’ කෘතියේ පාදක සටහන් කිහිපයක් සැකසීමට ‘තිබ්බතීය මලපොත’ සහ ‘ධම්ම පදට්ට කතා’ කෘතිය බන්ධුල ජයවර්දන මහතාගෙන් ඉල්ලා ගත්තේද එවෙලේය.
එහෙත් පුදුමයකට සේකර රැගෙනගියේ තිබ්බතීය මළ පොත පමණි.
මහගම සේකරගේ ප්රිය බිරිඳගේ දුක්බර මතකය මෙබඳුය.
“ආචාර්ය උපාධි නිබන්ධනයේ චේදයක් ලියමින් සිටි මහගම පසුදා කොලඹ යනවිට ඇදීමට කලු හා සුදු කොටු වැටුනු කමිසය මැද තබන්නැයි මට කීවා. ඔහුගේ ප්රියතම කමිසය වූ එය තිස්ස කාරියවසම් මහතාගෙන් ලැබුනු තිලිණයක්.
මා කමිසය මදින්නට ලක ලෑස්ති වනවිට සේකර අමුතු හඬකින් කතා කලා.
“මගේ බඩ දැවිල්ලයි..පෙත්තක් දෙන්න..”
ඔහු කාමරයට ගොස් ඇදෙහි වැතිර සිටියා. දිව යටින් තැබූ පෙත්ත නොරැදී බිම වැටුනා. පපුවෙන් අමුතු හඬක්ද නැගෙන්නට උනා. අසල් වැසියන් ගිලන් රියක් ගෙනෙන්නට දිව ගියා.වේලාව රාත්රී නමයයි හතලිස්පහයි. ඇඳ මත වැතිර හුන් සේකර දෑස් පියා ගත්තා…..
ලියන්නට පටන්ගත් පිටුවේ ‘රිද්මය’ පිලිබද සටහනක්ද අසම්පූර්නව තිබූ අතර පෑන පසෙකින් වැටී තිබුනා.

හිම ගිරිකුලු ඉහල නැගී වලා සිඹින
අහස පොලව දෙක මුසුවන
නිල් මිටියාවත මැද්දෙන්
සුදු මීදුම් පීරාගෙන
සුදු පියාපත් සලමින්
නැඟ බැස පාවී යන
සිහින මුවා අසුපිට නැඟ
සාර කතර බිම් සනහන 
‘මරණී’ නම් කෙම් බිම වෙත…

ඔහු නික්ම ගොස් තිබිනි….
(රත්න ශ්රී විජේසින්හයන්ගේ ‘මහගම සේකර චරිතාපදානය’ ඇසුරෙන් සකස් කරන ලදී)
උපුටනය : මහගම සේකර හා ඔහුගේ නිර්මාණ, ඌවේ නිර්මාණකරුවන්ගේ එකමුතුව.


කුස!

>> Thursday, March 18, 2010

කුස!
දමාපන්
උඹේ ඔය වීනාව පැත්තකට
අත් ඇරපන්
ඔය මූර්ති ශිල්පය
පබාවතියට
කලාවෙන් වැඩක් නැත

ගනින් අතට වන්ක මැණික
එක් රැස් කර ගනින් බලය
පිලිමලුන්ගෙ එඩි මඬින්න
එවිට ඒවි 
පබාවතී
උඹ ඉන්නා තැන හොයාන
උඹේ දැවුනු මුහුණ
ඇයට
එතකොට ලස්සනක් වේවි..


අමරදේවට..

ඔබේ සියුමැලි ඇඟිලි
තත් වලින් මැඳෙන විට
වීණාව 
ඒ දුකින් ඉකි බිඳියි….


ඔබටම මෙහෙවර කරනට එකසේ

>> Wednesday, March 17, 2010

ඔබටම මෙහෙවර කරනට එකසේ
වෙහෙසෙන දෑත අපි
පායාගෙන එන නව සුබ උදයට
එසවෙන දෙපය අපි
ළං ළං වී එන ජය ගී නාදය
අසනා දෙකන අපි
පින්බර හෙට දින ජයසිරි මහිමය
දකිනා දෑස අපි
එකම හැඟුමකින් එකට බැඳී
එකම පැතුමකින් එකට බැදී
එකම අදිටනින් එකට බැඳී
උදාර වූ එක අරමුණකට යන
එක හදවතයි අපි..

සංගීතය : අමරදේව
සමූහ ගායනයකි, ප්රබුද්ධ ගීයකි.


එපා පුතුනේ මුහුදු යන්නට

එපා පුතුනේ මුහුදු යන්නට 
රෑ දවාලේ හිතුමතේ
ඔරුව යන්නේ මකර කටටයි
සුළං පාරට හසු වෙතේ

මහා මේරුව හැපී පොඩිවී
ඔරුව සුන්වනු ඇත පුතේ
ටිකිරි පුතුනේ කැඩුණු ඔරුවෙන්
කවුරු මෙගොඩට ගොඩ වෙතේ

සංගීතය : සෝමදාස ඇල්විටිගල
ගායනය : අමරදේව

(මූදු පුත්තු නාටකයෙනි.)



අපාර වූ ආකාසේ

අපාර වූ ආකාසේ
විසිරී සඳ රේඛාවේ
දිලෙන නිවෙන තාරකා සේ
ඔබේ දෑස හා සඳවත
නිවී යේද මා හදවත
ජාති ජාති සන්සාරේ

භාරතීය රාගධාරී සන්ගීතයේ ඛ්යාල් නැමති ප්රකට ගීත ප්රකාරය මෙරටට හඳුන්වා දෙනු පිණිස මහගම සේකරයන් අමරදේවයන් සමීපයේ හිඳ ලියූ ගීතයකි.
ගීතයේ වචන රටාව ඉතාම අල්ප වීමත්, තත් කාලීන නාද නිර්මාණය විසින් අඩ හෝරාවක් පමණ් වුව ගායනා කල හැකි වීමත් මෙහි වෙසෙස් ලක්ෂණයකි.

ඛ්යාල් යන හින්දි වදනේ අරුත නාද ඔස්සේ කල්පනය කිරීමයි. නාද කල්පනා යන්න වඩා උචිතය.ප්රබලව කෙරෙන නාද කල්පනයට පසුබිමක් ලෙස ඉතා අල්ප වූ වදන් ගනනක් ඇත.

මෙම ගීතය රචනා වූයේ වැල්ලවත්ත වෙරළේදීය.



අපිම තමා වීරයෝ

අපිම තමා වීරයෝ
අපිම තමා සූරයෝ
මරුට නොබා
දිවි නොතකා
රට රකිනා යෝදයෝ

පර සතුරන් මෙරටට ආ 
ඉස්සර කාලේ
අපිම තමා කඩුව අරන්
යුද්දෙට ආවේ
අද දවසෙත් අපි
යුද්දෙ දිනනවා
රට වෙනුවෙන් රණ
බිම පණ දෙනවා

අපිම තමා මරුට නොබා
පෙරමුණ ගන්නේ
මැරෙන තුරා සතුටු සිතින්
ජය පැන් බොන්නේ…

සන්ගීතය : අමරදේව
ගායනය : අමිතා වැදිසිංහ.

(ආදරයයි කරුණාවයි චිත්රපටයෙනි)


ඔන්න බබෝ ඇතින්නියා

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
පුතු ගැන සිහිකරන්නියා
ඇස කඳුළැලි සලන්නියා

උඹෙ අම්මා කොතැන ගියේ
මානිල් මල් විලට ගියේ
ඒ විල මැද පිරුණු දියේ
දුකට හැඬුව කඳුලු තියේ

කන්දෙන් කන්දට පැනලා
ඇඟ ලේ කැටි කිරි කරලා
රන් තැටියේ පුරවාලා
කිරි අරගෙන එයි අම්මා..

සන්ගීතය : අමරදේව
ගායනය : අමිතා වැදිසිංහ.

(ආදරයයි කරුණාවයි චිත්රපටයෙනි)



නිශ්ශබ්දතාව කතා කරයි

ඔබගේ හදවතින් නැගෙන
නිහඬ සියුම් අඳෝනාව
අනන්ත වූ අවකාශය
නිශ්ශබ්ද ව අසා සිටියි

ඔබට ඉතා ළඟින් සිටින
ඔබෙන් බොහෝ ඈත වෙසෙන
මම ද
ඔබගෙ දුක් ගී හඬ
එපරිද්දෙන් අසා සිටිමි

දහවල දිව පැන දඟලන
කලබලකාරී ලෝකය
රාත්‍රියේ අඳුර පෙරව
සන්සුන් වී නිදියන කල
ඔබ නොනිදා
කවුළු දොරින්
අහස් ගැබට හෙලූ නෙතින්
මගේ හදේ දුක් ගී හඬ
ඔබේ හදින් අසන විට දි
මම නොනිදා
කවුළු දොරින්
අහස් ගැබට හෙලූ නෙතින්
ඔබේ හදේ දුක් ගී හඬ
මගේ හදින් අසා සිටිමි

අනන්ත වූ අවකාශය
සුළං දහර නිශ්චල කොට
ඔබෙත් මගෙත් දුක් ගී හඬ
නිසංසල ව අසා සිටියි

ඔබගේ ඇස් වලින් පෙරෙන
කාන්තියෙන් එළිය රැගෙන
පොඩි තරු කැට දිලී නිවී
කඳුළු හෙළා වැළපෙන හැටි
ඒ අවකාශය අතරින්
නිදි නැති මට එවිට පෙනෙයි

මගේ හදින් නැගෙන සුසුම්
අඳුර අතර පා වී ගෙන
කවුළු දොරින් රිංගා විත්
සෙමෙන් ඔබේ හිස පිරි මැද
නිදි නොමැතිව සිටින ඔබගෙ
මුහුණ සිඹිනු ඔබට දැනෙයි

අනන්ත වූ අවකාශය
සුළං දහර නිශ්චල කොට
ඔබෙත් මගෙත් දුක් ගී හඬ
නිසංසලව අසා සිටියි

ඔබෙත් මගෙත් දුක් ගී හඬ
අසා සිටින අවකාශය
පිටත ලොවට නෑසෙන්නට
නොපෙනෙන්නට මැරී සිටින
ඔබෙත් මගෙත් ආත්මයන්
නිසංසලව එක් කරවයි

සේකරගේ උප්පැන්න සහතිකය.

>> Tuesday, March 16, 2010


සේකර සිය පවුල සමඟ..

උපහාරයි

ඇවිද ළඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන්හිරිය පන් කොළ
යොදා කුකුළු සායම් රතු හා කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට ම මට කියා දුන් අම්මාට.

විසල් සුදු ඩිමයි කඩදාසි මත
තබා මහ කව කටුව දිග රූල
ඇඳ නෙක් මෝස්තර මල් හා කොළ
කපා කැටයම් ඉදු බොකුටු නියනින්
විශ්වයෙහි රටාව ම කලාවට නඟන හැටි
කුඩා කල සිට ම මට කියා දුන් තාත්තාට.


සේකර, මේ නුඹ වෙනුවෙනි..

හමුවීම

මිනී මල්

වෙසඟනකට

තරඟය

රුබය්යාට්

අම්මා

ඔබා දෙදණ නිල් උඳු පියලි බිම මත
වැන්දේය ඔහු බැති සිතින්
අම්මා වැළලූ තැන මහ පොළොවට;
පිපිලා තිබුණි එතැන සුදු පාටට
නමක් නොමැති පුංචි මලක්
සිම්බේය ඔහු එමල නමා හිස
'දස මසක් කුස තුළෙහි දරා සිට
මා ලොවට වැදූ අම්මා ඔබය'
කෙළවරක් නොමැති දුක් දරා විඳ
මා ලොවට හැදූ අම්මා ඔබය;

අඬන විට මා කුඩා අවදියෙහි බඩගිනි ව
තම්බා බතල දළු
ලුණු දියර ඉස
පොල් හා මුසුකොට කවා
බඩගිනි නිවූ අම්මා ඔබ ය.

උයා උදයෙන් නැගිට කඩයප්පන්
තබා තේ කඩයෙහි
ලබා ඉන් ලැබෙන සුළු වට්ටම
ජංගි ඇන්දූ අම්මා ඔබ ය.
ගල්වා ඉසෙහි තෙල් යහමින්
එල්ලා කරෙහි පංචායුදය
අල්ලා ගෙන අතින් මා
පාසලට එක්ක ගිය
අකුරු නූගත් අම්මා ඔබ ය.

ඇවිද ලඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන් හිරිය පන් කොළ
යොදා කුකුළු සායම් රතු හා කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට ම මට 
කියා දුන් අම්මා ඔබ ය.

නො දත්තෙමි මම එකල
අම්මේ, ඔබ වත කැඩපතක් බව;
මෙකල මා සිත පිළිබිඹු කරන
ගිලී යට ගිය ඇස් කුහර තුළ
නො දුටුවෙමි කිසි විටෙක සතුටක්
නො දුටුවෙමි කිසි විටෙක දුකකුත්,
ඉවසා සම සිතින් සැම සැප දුක්
ලැබුවා ද ඔබ සිතෙහි සාමයක්?
ඉපයුවෙමි මම මුදල්
ඉපයුවෙමි කිතු යසස්
වී ය මන්දිර යාන වාහන,
එහෙත් ඒ කිසිවකිනුත්
නො ලදිමි සිත් සැනසුමක්.
වටහා ගෙන සිටියා ද ඔබ ඒ සත්යුය
නො ලබා ම ඔබ ඒ කිසිවක්?

ප්රලබුද්ධ (1977) පද්ය සංග්ර හයෙනි.



බෝඩිම (උපුටාගැනීම් අංක 02)

උදේට නැගිටිනව.
රැවුල කපල දත් මදිනව
කන්තෝරුවට යනව.
පියන්ව කැන්ටිමට ඇරල ගෙන්නා ගෙන
දවල්ට කෑම කනව.
හවහට මේ ගුහාවටම ගාල් වෙනව
එතන ඉඳං ඇඳට වෙලා ඇහැ පියාන
හිත හිත ඔහෙ ඉන්නව.

ගීතසාර උරුවම්බානව ඇහෙනව.
මංගලිකා හිනා වෙනව.
හෙලේනා කහිනව
මංගලිකා හිනා වෙනව.
සොයිසා ගොරොවනවා
එක එක සද්ද බද්ද

දැන් කිසි සද්දක් නැත.
ඇහැ ඇරල බැලුවම
ලයිට් නිමල ඔක්කොම බුදි
මම විතරක් තනියෙං ඇහැ ඇරගෙන
අන්දකාරෙ.

දොළහෙ කෝච්චිය යනවා රේල් පාරෙ
ගිහිං ගිහිං ගිහිං ගිහිං
ඈත රටක නැතුව යනව.
සුරංගනා ලොවින් ඇවිත් සුරංගනාවියක්
ඇඳේ දිගා වෙලා හෙමින්
මගේ ඇඟේ වෙලෙයි
එතකොට මං දන්නේ
නින්දට ගිහිල්ල බව.

පහුවෙන් දා ආයෙත්
උදේට නැගිටිනව.
රැවුල කපල දත් මදිනව.
කන්තෝරුවට යනව
පියන්ව කැන්ටිමට ඇරල ගෙන්නාගෙන
දවල්ට කෑම කනව
ෆයිල් එනව
ෆයිල් යනව
හවහට මේ ගුහාවටම ගාල් වෙනව
කන්තෝරුවට යනව
හවහට මේ ගුහාවටම ආයි එනව.

කන්තෝරුවට යනව
හවහට ආයි එනව
කන්තෝරුවට යනව.

බෝඩිම-මහගම සේකර


බීර

රන්වන් රන්වන් ගත බබලනවා
හිනා කටින් කිරි පෙණ උතුරනවා
හිනා බුබුලු කට කොනින් පෙරෙනවා
ඒ දුටු තරමින් හිත මත් වෙනවා

ඒ කට මේ කට ළඟට අදිනවා
දෑස පියා එක හුස්මක් බොනවා
ඈත තියන්නට හිත නැති වෙනවා
බීගෙන බීගෙන ඉන්න හිතෙනවා

හීතලේම උඹ ළඟට ඇඳෙනවා
දෑත දෙපය ඇඟ උණුහුම් වෙනවා
වාත හන්දි කැක්කුම් දුරු වෙනවා
බූතයන්ට ඇති බය නැති වෙනවා

මේසේ අපි උඹ වටව සිටිනවා
දෑසේ නිදි මත මතට ඇරෙනවා
රාසේ කළ හැම දේම කියනවා
මාසේ පඩියම උඹට පුදනවා

නො තේරේය තම තරම පමාණේ
හිතේ දුකට බේතයි අනුපානේ
පොතේ කියන බණ වෙයි අඩමානේ
නැතේ නුඹට සම වෙන අන් පානේ

පෙරයම අපි උඹ ළඟට ඇදෙනවා
මද්දිම වනතුරු එකට සිටිනවා
අලුයම එක ළඟ වැටී නිදනවා
තුන්යමටම මට උඹ සිහි වෙනවා


දුකට කියන කවි සීපද.

පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා

ඉර පායා ඉර අවරට ගියාදෝ
හද පායාඅ හඳ අවරට ගියාදෝ
ඇඬූ කඳූළු මුහුදට එක් වුණාදෝ
ළමා ළපටි නෑනා කොයි ගියාදෝ

එගොඩත් බැලිමි එගොඩත් නුඹ නැතේයා
මෙගොඩත් බැලිමි මෙගොඩත් නුඹ නැතේයා
දෙගොඩම බැලිමි දෙගොඩම නුඹ නැතේයා
සිවුපද කියන මම තනියම පැලේයා

එගොඩ ගොඩේ උල ලේනා අඬන්නේ
මෙගොඩ ගොඩේ මම සීපද කියන්නේ
දෙගොඩ හරිය ගෙවිලා පිනි වැටෙන්නේ
දෙගොඩ ගොඩින් කොතැන ද නුඹ සිටින්නේ

සීත කරන උඳුවප් මහ දුරුත්තේ
සීතල උහුලන්ඩ මට බැරුවා සත්තේ
කැලේ මදුරු මැසි කරදර තොර නැත්තේ
පැලේ ගින්න විතරයි තනියට ඇත්තේ

උඹේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
උඹේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරවු එනවා පෙර පුරුද්දට

අනේ ගිරවුනේ මා බස අසාපන්
නඟා සිටින තැන කොතැන ද සොයාපන්
පැලේ තනිවම මා ඉඳිතෙයි කියාපන්
හිතේ දුකට නිදි නැතිවා කියාපන්

රෑ තිස්සේ පැල් රැක නිදි මරන්නේ
පාන්දරට යන්තම් ඇස පියෙන්නේ
හේනේ කඩුල්ලට එපිටින් සිටින්නේ
හීනෙන් ඇවිත් නෑනා අත වනන්නේ

උඹයි මායි අපි දෙන්නා එකතු වෙලා
කැලේ කපා වල් කොටලා ගිනි තියලා
වැවූ කුරක්කන් ගොබ දැන් කළු ගැහිලා
මෝරයි බංඩි මඳ සුළඟට නැමීලා 

රන් දෑකැති අරන් දෙන්නා දෙපස සිට
බට පොතු පෙට්ටි පුරවා එක පිට එකට
නෑනේ වරෙන් ඒ අස්වනු නෙළන්නට
කුරහන් පැහී මොකටද උඹ නැති දාට

ඔපනැලි යටින් පෙති ගෝමර ඉහෙන නඟේ
ඇඳි සේලේ රැලි සුළඟට නටන නඟේ
බුලත් හපා හප සුළඟට පිඹින නඟේ
කුරහන් කපන්නට හේනට වඩින් නඟේ




බලාපොරොත්තුව.

බෝඩිම (උපුටාගැනීම් අංක 01)

මම ඉන්නව මංගලිකා
අඬන්ඩෙපා
ඔය හොටු හූරගන්ඩ.
බලාන හිටියා මං නාකි වෙවී මෙච්චර කල්
ඔයා බලාපොරොත්තුවෙන්.
දැන් බාදාවක් නෑ

මංගලිකා.
අපි බඳිමුද?
බැඳලා තනි තට්ටුවෙ ගෙයක් හදමු
පර්චස් විසිපහක තිහක පොඩි ඉඩමක.
ට්රෙසසරි ලෝන් එකක් ගහල.

එතකොට අපටත් ළමයි හැදෙයි
එතකොට අපි උන් වඩාන
දොස්තර ගෙදර යනව බේත් ගන්ඩ
රත ගායට.පනු ගායට.වලිප්පුවට.
නැකතට බත් කවනව
ඉස්කෝලෙ අරිනව.
රස්සාවල් හොයල දෙනව.ගේනව.
දීග දෙනව.
එතකොට උන්ටත් ළමයි හැදෙයි.
උනුත් බඳියි
ළමයි හැදෙයි
උනුත් බඳියි
ළමයි හැදෙයි
උනුත් බඳියි
ළමයි හැදෙයි.

මංගලිකා
සංසාරේ දික් ගහන්ඩ
අපි බඳිමුද?
ඔයාගෙ ඇස් දෙක මට
වතුර බිංදු දෙකක් වගෙයි

ඈත අඳුරු ළිඳක තියන
ඒ ඇස් දෙක ඇත් නං
ඕ. ඒ. කම මම ගන්නං.
නූල් ඇදල බෙල්ල කපල
රජ වෙන්නං
සක්විති වෙන්නං මං.

මධ්යිම පන්තියේ සදාකාලික ජීවන රටාව
මනාව පෙන්වන මෙම කව උපුටා ගැනීම
බෝඩිම කාව්ය සංග්රනහයෙනි.



නොවසින වැසි

පොසොන් ගීතය

හිරකාරිය (කෙටි කතාවක්)









වැස්ස

නෙලුම් මල(කෙටි කතාවක්)

දවස ඇරබේ..

කවිය වෙනුවට කවියා කියවීම

සේකර චිත්ර සටහනක් නිර්මනකරනයේ යෙදී..

සේකර දියණිය සමඟ..


  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP