වික්රමසිංහ ගීතය.

>> Thursday, April 29, 2010

ජන දිවියේ හද
ගැහෙනා රාවය
ඔබගේ ගීයේ රිත්මයයි
දෙදහස් වසරක සිංහල උරුමය
ඔබගේ ගීයේ ආත්මයයි

ඔබ ලියු පොත්වල නිහඬ අකුරු තුල
ඒ රණ ගී හඬ හදට ඇසේ.
අතීත නටබුන් මැදින් මතුව එන
නවයුගයක මං ලකුණු පෙනේ.

කාලය සමඟින් වෙනස් වෙවී
නව පරපුර හා එකට ගැටී
නව චින්තනයට උල්පත වී
ඔබ අප පෙරමුණ රැගෙන සිටී.

බියෙන් සැකෙන් තොර නිවහල් ලොවකට
රුවන් පසින් වැසි රන් දිවයිනකට
නැවුම් සුවඳ නඟනා නව බිමකට
වරම් ලබා අපි යමු හෙට වනවිට
ඒ යන ගමනේ
ගිරි හෙල් අතරේ
ඉන්ද්රඛීලයක් සේ නොසැලී
පහන් ටැඹක් සේ මඟ එළි කර
ඔබ
සදා අපගෙ ආලෝකය වුව මැන.

බෝඩිම පිට 96


වෙස්සන්තර.

>> Monday, April 26, 2010

වනේ පලාපල නැත පෙර ලෙසිනේ
පෙනේ අසුබ නිමිතිම සැම අතිනේ
විනේ කිමද නොදනිමි දෙවි තුමනේ
ගෙනේ සිතට බිය රෑ දුටු සීනේ

දාර පිඹුරු වග වලසුන් සරනා
ගෝර රුදුරු බිය පිරි වන අරණා
සාමිනි ඔබ හැර නැත වෙන සරණා
බාරයි ඔබ හට මා දරු දෙදෙනා

කලුවන් මිනිසෙකු රෑ නිඳි යානේ
වරලින් ගෙන මා බිම ඇද හෙලුවේ
දෙනුවන් ගලවාගෙන යනු දුටුවේ
කිමදැයි නොදනිමි ඒ දුටු සීනේ

වාත මේඝ හෙන හඬ ගුගුරමිනේ
සීත සුලඟ සැසලෙන ගන අරණේ
සීල බෙලෙන් පිය මහ රජිඳුන්නේ
බීත ඔබට නොවේවා, මා පුතුනේ..!

සංගීතය : අමරදේව
ගායනය: නන්දා මාලනී

වෙසතුරු සිරිත චිත්රපටයෙනි.



බෝඩිම (උපුටාගැනීම් අංක 03)

>> Saturday, April 24, 2010

දියසේන : ඒ කාලෙ මම හිතුවා
දෙදහස් පන්සීයෙදි ඇවිදිල්ලා රට හදන්න
පස්සෙ මටම හිතුනා
ඔක්කොටම ඉස්සෙල්ලා මම හැදෙනව
එහෙම හිතල වැලි දැම්මා හාල් වලට
මිරිස් වලට වතුර ගැහුවා
කිරුවා බොරු පඩියෙං
ගින්දර අරන් ගියා වතුර යටිං
බෙලි කැපුවා දිය රෙද්දෙන්
ගත්තා කුරුණෑගල පොල් ඉඩමක්
බැන්දා කසාදයක්
ගෝරිමන්ද සිටාණන්ගෙ වැඩිමල් දූ
තමුසෙලටත් දියුණු වෙන්න ඕනෑ නං 
ලක්ශයක් වුනත් මම දෙන්නං
හැබැයි ගොය්යො නිකම් නොවෙයි
ශයිලොක්ටත් දුන්නේ 
මස් රාත්තලේ පොළියට
මට දැන් තේරෙනවා
එක් එක් පුද්ගලය තර උණාම
මුළු රටම දියුණු වෙනව
මොකද තමුසෙල කියන්නෙ

බෝඩිම 20 පිටුව.


ප්රබුද්ධ උපුටනය 03

>> Friday, April 16, 2010

කළු කබා මහත ටයි
තරබාරු ප්රභූවරු
ගරුතර මැති ඇමතිවරු
පිටිකර රැළි වැටුණු
කද බඩ හොදින් ආරපු
සංස්තා ලොක්කෝ
සහ පෙරකදෝරුවෝ
පීරා ඈතින් කෙස් ගෙනත්
තට්ටය යන්තමින් වසා ගත්
රජයේ වර ලැබූ
වියාපාර හිමිකරුවෝ
ජාතික බැනියම් අදින
චන්දෙට සල්ලිත් දෙන

සිටියෝ මෝරපු ගැහැණු
බැන්ද උස් කොණ්ඩා හා
ගණ දෙතොල් උල් වූ නිය ඇති
අඩවන් තඩිස්සි ඇසි
ඉඟ දෙපසින් එල්ලෙන මස්
විජිනිපත් ගෙන පවන් සලමින්
බලමින් නෙත් කොනින් ගර්වයෙන්
මැකෙන රූ සිරියට මුක්කු ගසමින්..

ප්රබුද්ධ 10 පිටුව


සරල මනුස්සයෙක්

>> Thursday, April 15, 2010

(සිළුමිණ පුවත්පතින් උපුටා ගන්නා ලදී..)

ගමකට වඩා වටින්නේ මහගමසේකර වගේ ප්‍රතිභාසම්පන්න කලාකාරයෙක් ද, එසේත් නැත්නම් බෝක්කුවක්වත් හදාගන්න පුළුවන් හැකියාවක් ඇති ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයෙක් ද? මේ ප්‍රශ්නය මගේ සිතට නැඟුණේ ප්‍රවීණ සාහිත්‍යධර කේ. ජයතිලකයන් වරක් පුවත්පතකට කර තිබූ එක්තරා ප්‍රකාශයක් දැකීමෙන්. මහගමසේකර රටේ කොයිතරම් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණත් ගමට එක බෝක්කුවක් බැඳදීම තරම්වත් සේවයක් ඔහු කර දී නැති බව සේකරගේ අවමඟුල් උත්සවයේදී හමුවූ රදාවාන ගැමියකු තමාට පැවසූ බව ජයතිලකයන් කියා තිබෙනවා. සේකර ගේ අවසන් කටයුතු පැවැත්වුණේ ඔහු උපන් රදාවාන ගමේ තුංමංහන්දියෙදි. 

එහෙත් ඊට ගමෙන් සහභාගි වුණේ ටික දෙනයි. ඊට හේතු විමසීමකදි තමයි අර ගැමියා ජයතිලකයන්ට ඒ වගේ ප්‍රකාශයක් කරලා තිබෙන්නේ.

මහගමසේකර කවියකු, ගීත රචකයකු, චිත්‍ර ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු යනාදි වශයෙන් කලා ක්ෂේත්‍ර ගණනාවකම විශිෂ්ටයකු වුණාට ගමේ අයට එය ඒ තරම් මහ කජ්ජක් වෙලා නැති බවක් පෙනී යනවා. ගමේ අයට ඔහු නිකම්ම නිකම් ජෝන් සිංඤෝගේ පුතා පමණක් වුණා.

මහගමසේකර අධ්‍යක්ෂණය කළ ‘තුංමංහන්දිය’ චිත්‍රපටයේ ඇතැම් දර්ශන රූ ගැන්වුණේ ඔහු උපන් ගමේදීමයි. එහි එක් රූපගත කිරීමකදි ගමේ අය දැක්වූ ප්‍රතිචාරයක් ‘මහගමසේකර සහ සමාජ යථාර්ථය’ කියන පොතේ මෙසේ සටහන්ව තිබෙනවා.

”අර කවුද ඉන්නේ... ජෝ අබේවික්‍රම... එකෙක් කීය.
’අර ඉන්නේ ස්වර්ණා මල්ලවආරච්චි’ තවකෙකුගේ හඬ ඇසිණි.
’අර ඉන්නේ ජෝන් අයියගේ පුතා.’ එකෙක් සේකර දෙසට ඇඟිලි දිගුකොට කීය.
මහගමසේකර ගැන අනුස්මරණ සටහනක් ලියපු අපේ ‘කසුරි’ මහත්තයා (‘සිළුමිණ’ ප්‍රධාන කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතා) තම සටහන නිම කර තිබුණේ මේ ලෙසින්.

”ඔහු කවියෙක්; ගීත රචකයෙක්; නවකතාකරුවෙක්; චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්; අධ්‍යාපන නිලධාරියෙක්; චිත්‍ර ශිල්පියෙක්; පොත් කවර නිර්මාණ ශිල්පියෙක්; කථිකාචාර්යවරයෙක්. ඒ ඔක්කොම හරි. ඒත් මසිත කියන්නේ මහගමසේකර හඳුන්වන්න පුළුවන් හොඳම නිර්වචනය ඒ එකක්වත් නොව ‘සරල මනුස්සයෙක්’ යන්න බවය.”

සොයිලියස් මැන්දිස් හා නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ හැරුණම මම අහලා තියෙන විදියට අපේ රටේ හිටපු ඉතා නිර්ව්‍යාජම කලාකාරයා මහගමසේකර. ඔහු කීර්තියක් අත්පත් කරගත්තේ කුර්තා ඇඳුම්වලින්වත් පිනට ගත් සාම විනිසුරු පදවිවලින්වත් ඉන්දියාවේ වෛකල්පිත විද්‍යා ආයතනවලින් මිලට ගත් ආචාර්ය උපාධිවලින්වත් නෙමෙයි. ඔහු නිර්මාණය කළ අග්‍රගණ්‍ය කලා කෘතිවලින්මයි.

කලා මාධ්‍යයක පදනම විය යුත්තේ අව්‍යාජත්වය බව මහගමසේකරම වරක් ලිපියක් ලියමින් කියා තිබෙනවා.
සේකර ගමෙත් නගරයෙත් කොතැනත් ජීවත් වුණේ ඉතාම සරල, අල්පෙච්ඡ, නිර්ව්‍යාජ පුද්ගලයෙක් විදියටයි. රස්සාව ඉවර වෙලා ගෙදර ඇවිත් අමුඩෙ ගහගෙන ළිඳෙන් නාන්න පුළුවන්කම ඔහුට තිබුණා. ගමේ වෙල්එළියේ උඩුකය නිරුවතින් ඇවිදීමට පුළුවන්කම ඔහුට තිබුණා.

සේකර ගමේදි කා එක්කත් කතා කළේ ‘උඹ, බං, බොලං’ කියලයි. කොටින්ම ඔහුගේ අම්ම තාත්ත එක්කත් කතා කළේ ඒ අයුරින්. ‘තුංමංහන්දිය’ චිත්‍රපටයේ තිරනාටකය කියවු අවස්ථාවකදී ලද අත්දැකීමක් ගැන ප්‍රවීණ ලේඛක හේමරත්න ලියනආරච්චි මෙසේ කියා තිබෙනවා. එහිදි ඔවුන්ට පානය කිරීමට සිගරැට් ඕනැ වෙලා තියෙනවා. සේකර නිදා සිටින තම පියා අමතනවා.

”තාත්තේ තාත්තේ නැගිටපංකෝ.” පුතාගේ කටහඬ අපට ඇසේ.
”මොකද යකෝ මේ කරදරේ. නිදාගන්නවත් දෙන්න එපා.” ඒ පියාගේ් කටහඬය.
”අනේ තාත්තේ... අපේ සිගරැට් ඉවරයි. අපිට සිගරැට් ටිකක් ගෙනත් දීපංකෝ... අනේ”
”යකෝ මේ අනෝරා වැස්සේ.” පියා නැඟිට ඇඳෙහි හිඳ ගත්තා සේය.
”අනේ මං අර මගේ චිත්‍රපටි කතාව මේ යාළුවන්ට කියනවා. අපි ගියොත් මේ වැඩේ නවතිනවනේ. අනේ සිගරැට් ටිකක් ගෙනැත් දීපං. උඹට පින් සිද්ධවෙයි.”

සේකර කලාව කළේ අද හුඟාක් කලාකාරයන් වගේ සල්ලි බලාගෙන නෙමෙයි. ඔහුගේ චිත්‍ර ඉහළ මිලකට ගණනය වුණත් ඔහු ඒවා වික්කේ නැහැ. අද ලක්ෂ ගණනින් වටිනාකම් කිවහැකි චිත්‍ර ඔහු ඇතමුන්ට දීලා තියෙන්නේ සතයක්වත් අය නොකර.

සේකර ජීවත් වුණේ අවුරුදු 46 යි. ඔහු මේ ඔක්කොම කළේ ඒ ටික කාලය ඇතුළත. ඔහු අපේ රටට වටිනා කලා කෘති රැසක් දායාද කරමින් කලාව, සංස්කෘතිය පෝෂණය කළා. 

ඒත් මේ රටෙන් සේකරට ලැබුණේ මොනවද?

වරක් සේකර තමාගේ ‘බෝඩිම’ කවි පොතේ පිටපත් ටිකක් සංස්කෘතික දෙපාර්තමේන්තුවට විකුණගන්න ගියාම සල්ලි නැතැයි කියා ඔහු ආපසු හරවා එව්වා. ඔහු ගේ ගී තැටි වලට ඉරි ඇන්දා. (තමාගේ තැටිවලට ඉරි ඇඳීම තමාට දැනුණේ පපුවට පිහි පාරක් ඇන්නා වගෙයි කියලා සේකරම වරක් කියලා තියෙනවා) 1996 දි රුපියල් දෙකක වටිනාකමකින් යුත් මහගමසේකර සමරු මුද්දරයක් නිකුත් කළා. 

ඒත් එහි නම සඳහන් වෙලා තිබුණේ ‘ශාන්ත කුමාර මහගමසේකර’ කියලයි. (පස්සේ ඒ මුද්දර දස ලක්ෂයම අවලංගු කළා) මහගමසේකරගේ නමවත් හරිහැටි දන්නෙ නැති රාජ්‍ය නිලධාරින් ඉන්න මේ සිංහල අපගේ රටකයි සේකර ජීවත්වෙලා මිය ගියේ.

(මෙම වාර්තාව ලබාදුන් මිත් සොයුරාට ස්තුතියි..!)

සංගීතය..

මුළු ලොවම සිහිනයයි
මුළු සිරුර සිර ගෙයයි
ඔබ ගීත රැවු නැඟෙන සවනේ
සිත පාව යයි ඉහල ගුවනේ

තොල් අතර තව රැඳුණු
ඉන් පිටත නොම ඇදුණු
ඔබ සුසුම ඔබ වදන අතරේ
සංගීත රස නිතර පැතිරේ

හදවතෙහි තත මතෙහි
ඔබ ඇඟිලි තුඩු වදිත
කම්පාව ජීවනයෙ වීණා
එයි සිහිව ගිය මතක සේනා

සංගීතයයි සතුට
සංතාපයෙන් ලැබෙන
ආදරයෙ ඇස හෙලන කඳුළුයි
ආදරයෙ පිපි සුවඳ කැකුළුයි..

(ඛලීල් ජිඛ්රාන්ගේ කවියක් ඇසුරෙනි)

සක්වාළිහිණි පිට 91


කෙකටිය මල්

>> Wednesday, April 14, 2010

කෙකටිය මල්

ඉහල වෙලේ ඉස්මත්තේ
දිය හබරල මල් ගොල්ලේ
නීල වරල ළමැද හෙලාලා
බිමට නැමී ඔය කවුදෝ
පලා නෙලන්නේ
නීල නුවන් දෑලවරින්
වැසි වස්සන්නේ

පහල වෙලේ පුරං වෙලා
වල් බිහිවී ගිය කුඹුරේ
මම තනියම කාන්සියෙන්
කුඹුර කොටනවා
ඈත ඉන්න උඹේ මූණ
හිතේ ඇදෙනවා

නව වැස්සට වැව පිරිලා
කෙකටිය මල් උඩ ඇදිලා
ඒ අතටයි මේ අතටයි
නැමී වැනෙනවා
ඒ වතුරෙන් වෙල සරු වී
ගොයම පැහෙනවා

නීල ගොයම කිරි වැදිලා
රන් අස්වන් නෙලන දාට
නඟෝ අපිට ඇඹුල අරන්
වෙලට වරෙන්නේ

කෙකටිය මල් සුද තවරා
උඹේ සිනා කිරි උතුරා
නඟෝ අපිට ඇඹුල අරන්
වෙලට වරෙන්නේ

සක්වාලිහිණි පිට 94


හෙට ඉරක් පායයි උපුටනය 19

>> Thursday, April 8, 2010

නොපිපෙන්න
නොපිපෙන්න
මල් කැකුල

ඔබ ඇතුලත පිරී තිබෙන
නැවුම් සුවඳ
ඉඳුල් කරන්නට
සුළඟට
ඉඩ නොදෙන්න
ඔබ ඇතුලත ඉඳී තිබෙන
පැනි බිංදුව
උරා බොන්න
ඉර අවුවට
ඉඩ නොදෙන්න.

හෙට ඉරක් පායයි පිට 15


හෙට ඉරක් පායයි උපුටනය 18

අර බලන්න
සුදු පාටින් තෙත මීදුම් වලාවන්
මිටියාවත දිගේ ගලයි
කඳු යායම වසා ලමින්
එකම සිහින ලෝකයක් මැවී
කිසිවක් නැති
කිසිවෙකු නැති
ඒ ලෝකේ කෙලවරටම
නොපෙනී යන්නට ඇත්නම්!
ඔබත් සමඟ අත්වැල් බැඳ

හෙට ඉරක් පායයි පිට 12



හෙට ඉරක් පායයි උපුටනය 17

මා
ඔබගෙ රත් අදර උරන විට
තන පුඬුව
ඊර්ශාවෙන් බරව කලු පැහැව
උඩුහුරුව
ඒ දෙස බලමින් සිටී

හෙට ඉරක් පායයි පිට 13


හෙට ඉරක් පායයි උපුටනය 16

මා ලියූ කවි රසැයි කියමින්
නිබද ඔබ මට පසසනා මුත්
ඒ කවි හැම
මා හද මත
මුලින් ලියූවේ ඔබමයි

හෙට ඉරක් පායයි පිට 11



හෙට ඉරක් පායයි උපුටනය 15

ඔබේ දිගටි නිල් ඇස් වල ලස්සනට
එදා මහත් ආදරයක් උපනි මට

ඒ ලස්සන දැක
මා සිත
මත් වී ඇති බව දැන
ඔබ
සිතා මතා හෙලමින්
නෙක් ලෙසින් මායම් බැළුම්
අහිංසක ඒ අව්සට
කපටි කම් ඉගැන්විය
තවත් මා මත් කරන අදහසින්
දැන් ඒ ඇස
ලස්සන නැත.

හෙට ඉරක් පායයි පිට 5

හෙට ඉරක් පායයි උපුටනය 14, සංයුක්ත කවි පෙලක්.

>> Monday, April 5, 2010

හෙට ඉරක් පායයි උපුටනය 12, සංයුක්ත කවි පෙලක්.

හෙට ඉරක් පායයි උපුටනය 11, සංයුක්ත කවි පෙලක්.

හෙට ඉරක් පායයි උපුටනය 10, සංයුක්ත කවි පෙලක්.

හෙට ඉරක් පායයි උපුටනය 09, සංයුක්ත කවි පෙලක්.

තල මලේ සින්දුව.

>> Friday, April 2, 2010

බින්දු බින්දු මල්
අතු අග පිපි මල්
අහසේ තරු ගණනේ
පිපී මද සුළඟට ළෙල දෙන්නේ

පුංචි කැකුළු මල්
රේණු ඉදෙන කොට
වටකර උඩුගුවනේ
බමර වැල් කිංකිණි හඬ දෙන්නේ

වලාකුලෙන් බැස
සුරංගනාවන්
අතු අග රඟ දෙමිනේ
තාලයට චාමර සොලවන්නේ

සොඳ ගෙතුමෙන් කල
පබළු පෙලින් පෙල
කිනිති බරින් නැමුනේ
පුරා හඳ පායන සේ දිස්නේ

රිදී කඳන් ලෙස
බෙදී තැනින් තැන
රිදී තොරණ ලෙසින්
ගුවන්තල තල මල බබලන්නේ

වෙහෙරට බැඳි රන්
කරඬුව විලසින්
මුදුනට කොත සැදුණේ
තෙතෙයි තෙයි තල මල බබලන්නේ..

සක්වාලිහිණි පිට 16 -17

මල් වැහි

මැණිකෙගෙ පැල ලඟින් මා යන      වෙලාවේ
මල් වැස්සක් වැස්සයි නිල්                වලාවේ
ඒකයි පැලට ආවේ සිහි                    මුළාවේ
වැහැපන් හෙටත් මල් වැහි ඒ         වෙලාවේ

සක්වාලිහිණි පිට 25


අස්වැන්න පෑගීම.

>> Thursday, April 1, 2010

අම්බරුවෝ - අපි කමතේ
කැරකි කැරකි යනවා
කවුද කෙනෙක් කෙවිට අරන්
අපි පස්සෙන් එනවා

රන්වන් බැත පෑගි පෑගි
නොපෙනී යට යනවා
රන්වන් බැත යටකරගෙන
මැඬුවන් මතු වෙනවා

අම්බරුවෝ කැරකි කැරකි
කමත වටේ යනවා
රෑ තිස්සේ එලිවෙන කල්
වට රවුමේ යනවා…

සක්වාළිහිණි, පිට 08


  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP